සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
4. ඔක්කන්ත සංයුත්තකය
5. වේදනා සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, චක්ඛුස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. සොතස්පර්ශයෙන් හටගන්නා වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය, ඝාණස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ජිව්හාස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. කායස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. මනොස්පර්ශයෙන් හටගත් වේදනාව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද, ශ්‍රද්ධාව කරණකොටගෙන මිදෙයිද, මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ, සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, එතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයෝ එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද මේ පුද්ගල තෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධර්මානුසාරී පුද්ගලයායි. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් ඵලයට නොපැමිණෙයිද ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙමේ අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයා යයි කියනු ලැබේ.”