සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
4. ඔක්කන්ත සංයුත්තකය
9. ධාතු සූත්‍රය
(මේ සූත්‍රයද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)
“මහණෙනි, පඨවී ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය. ආපොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය, තේජෝ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. වායොධාතුව අනිත්‍යය. පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය. ආකාශ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය, වෙනස්වන ස්වභාවය විඤ්ඤාණ ධාතුව අනිත්‍යය, පෙරලෙන ස්වභාවය වෙනස්වන ස්වභාවය.
“මහණෙනි, යමෙක් මේ ධර්මයන් මෙසේ අදහයිද ශ්‍රද්ධාව කරණකොට ගෙන මිදෙයිද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ සද්ධානුසාරී පුද්ගලයායයි කියනු ලැබේ.
“හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙකුට වනාහි මේ ධර්මයන් එසේ ප්‍රඥාව කරණකොට ප්‍රමාණ වශයෙන් දැකීමට පැමිණෙද්ද, මේ පුද්ගලතෙමේ ආර්ය මාර්ගයට පැමිණියාවූ සත්පුරුෂ භූමියට පැමිණියාවූ පෘථග්ජන භූමිය ඉක්මවූ ධම්මානුසාරී පුද්ගලයා යයි කියනු ලැබේ. හෙතෙම යම් කර්මයක් කොට නිරයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ප්‍රේත ලෝකයෙහි හෝ උපදින්නේද, ඒ කර්මය කිරීමට නුසුදුසු වෙයි. යම්තාක් සෝවාන් මාර්ග ඵලයට නොපැමිණෙයිද, ඒතාක් කළුරිය කිරීමට නුසුදුසු වෙයි.
“මහණෙනි, යමෙක් මේ ධර්මය මෙසේ දනියිද, දකියිද, හෙතෙම අපායෙහි නොවැටෙන ස්වභාවය ඇති නියතවූ අර්හත්වයට ඒකාන්තයෙන් පැමිණෙන්නාවූ සෝවාන් පුද්ගලයායයි කියනු ලැබේ.