සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

1. ගිලාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්‍ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ. දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වේ. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් මැනවැ’’ යි කියායි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුයේය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, ’’මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පනවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම ඉඳගන්නෙමි’’ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ පනවන ලද ආසනයෙහි වැඩහුන්හ. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. ’’මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැක්කේද? කිම, යැපිය හැක්කේද, කිමෙක්ද, දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේද’’ කියායි.

’’ස්වාමීනි, මට ඉවසිය නොහැක. යැපිය නොහැක. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙත්. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනෙයි. අඩුවන බවක් නොපෙනේය’’ යයි කිය. ’’මහණ, කිමෙක්ද, තොපට කිසියම් කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?’’ - ’’ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය’’ යි කීය.

’’මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කරන්නේද?’’ - ’’ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකරන්නේය.’’

’’මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එකල්හි කවර කරුණෙකින් නුඹට කුකුසක් වේද, පසුතැවිමක් වේද?’’

’’ස්වාමීනි, මම ශීලයෙන් පිරිසිදුවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා නොකරණ ලද බව දනිමි’’ යි කීය.

’’මහණ, ඉදින් වනාහි නුඹ ශීලයෙන් පිරිසිදුවීම පිණිස මා විසින් ධර්මය දේශනා නොකරණ ලද බව නොදන්නෙහි නම්, මහණ, එසේ ඇති කල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරන ලදැයි දන්නෙහිද?’’

’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරණ ලදැයි දනිමි’’ යි කීය.

’’යහපත, යහපත, මහණ, මහණ, නුඹ වනාහි මා විසින් රාගය දුරුකිරීම පිණිස ධර්මය දේශනා කරණ ලදැයි දන්නෙහි. එය යහපත. මහණ, මා විසින් රාගය දුරු කිරීම පිණිස ධර්මය දේශනා කරණ ලදී.’’

’’මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’ ’’කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’මහණ, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. කණ කෙරෙහිද කලකිරෙයි. නාසය කෙරෙහිද කලකිරෙයි. දිව කෙරෙහිද කලකිරෙයි. කය කෙරෙහිද කලකිරෙයි. සිත කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. ’’ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී’’ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරනු ලබන කල්හි ඒ භික්‍ෂුවහට කෙලෙස් රජස් රහිතවූ, පහවූ කෙලෙස් මල ඇති, යම් කිසිවක් ඉපදීම ස්වභාවකොට ඇත්තේද, ඒ සියල්ල නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේය යන දහම් ඇස පහළවිය.