සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

9. ඡන්න වර්‍ගය

10. ද්වය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ‘කලන්‍දක නිවාප’ නම්ලත් වේළු (උණ) වනයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

’’මහණෙනි, දෙකක් නිසා විඥානය හටගනියි. මහණෙනි, කෙසේනම් දෙකක් නිසා විඥානය හටගනීද? ඇසද රූපයන්ද නිසා චක්‍ෂුර්විඥානය උපදියි. ඇස අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. රූපයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්‍ෂුර්විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. චක්ඛු විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

’’මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ චක්ඛු විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ චක්ඛු සම්ඵස්සයයි කියනු ලැබේ. චකඛු සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ,මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ චක්ඛු සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

’’කණද ශබ්දයන්ද නිසා සෝත විඥානය උපදියි. කණ අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරලෙන ස්වභාවය ඇත්තේය. ශබ්දයෝ අනිත්‍යයහ. පෙරලෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයද අනිත්‍යය. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

’’මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ සෝත විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක් රැස්වීමක් එක්වීමක් වේද, මහණෙනි, මේ සෝත සම්ඵසසයයි කියනු ලැබේ. සෝත සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. සෝත සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරලෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ සෝත සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරලෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

’’නාසයද, ගන්‍ධයන්ද නිසා ඝාණ විඥානය උපදියි. නාසය අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරළෙන ස්වභාවය ඇත්තේය. ගන්‍ධයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ විඥානයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

’’මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ ඝාණ විඥානය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, මේ ධර්‍මයන් තුන්දෙනාගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මහණෙනි, මේ ඝාණ සම්ඵස්සයයි කියනු ලැබේ. ඝාණ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. ඝාණ සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍ය වූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ ඝාණ සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

’’දිවද, රසයන්ද නිසා ජිහ්වා විඥානය උපදියි. දිව අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. රසයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය. මෙසේ මේ ධර්‍ම දෙක සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය. ජිහ්වා විඥානයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ජිහ්වා විඥානයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ ජිහ්වා විඥානය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, යම් මේ ධර්‍මයන් තුන්දෙනාගේ සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මේ ජිහ්වා සම්ඵස්සයයි කියනු ලැබේ. ජිහ්වා සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව වේ. අන් ආකාරයක් වන්නේය. ජිහ්වා සම්ඵස්සයාගේ ඉපදීමට යම හේතුවක් යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍ය වූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ ජිහ්වා සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව වෙත්. අන් ආකාරයක් වන්නාහු වෙත්.

’’කයද, ස්පර්‍ශයන්ද නිසා කාය විඥානය උපදියි. කය අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයකට පෙරළෙන ස්වභාව ඇත්තේය. ස්පර්‍ශයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාව ඇත්තාහුය. අන් ආකාරයක් වන ස්වභාවය. මෙසේ මේ දෙකම සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය විඤ්ඤාණයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය විඤ්ඤාණයාගේ පහළවීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාව ඇත්තේය. අන් ආකාරයක් වන ස්වභාවය.

’’මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා හටගත්තාවූ කාය විඤ්ඤාණය කෙසේ නම් නිත්‍ය වන්නේද, මහණෙනි, යම් මේ ධර්‍මයන් තුන්දෙනාගේ සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මේ කාය සම්ඵස්සයයි කියනු ලැබේ. කාය සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන ස්වභාවය. කාය සම්ඵස්සයාගේ ඉපදීමට යමක් හේතුවේද, යමක් ප්‍රත්‍යවේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍යවූ ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ කාය සම්ඵස්සය කෙසේනම් නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය ඇත්තාහුය. අන් ආකාරයක් වන්නාහුය.

’’සිතද, ධර්‍මයන්ද නිසා මනොවිඤ්ඤාණය උපදියි. සිත අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. ධර්‍මයෝ අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නාහුය. මෙසේ මේ දෙක සැලෙන්නේය. විනාශ වන්නේය. අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනො විඤ්ඤාණයද අනිත්‍යය. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනො විඤ්ඤාණයාගේ ඉපදීමට යම් හේතුවක් යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනෝ විඤ්ඤාණය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, මේ තුන් වැදෑරුම්වූ ධර්‍මයන්ගේ යම් සමාගමයක්, රැස්වීමක්, එක්වීමක් වේද, මෙය මනෝ සම්ඵස්සයයි කියනු ලැබේ. මනෝ සම්ඵස්සයද අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය. මනෝ සම්ඵස්සයාගේ ඉපදීමට යම්ක් හේතුවක්, යම් ප්‍රත්‍යයක් වේද, ඒ හේතුවද, ඒ ප්‍රත්‍යයද, අනිත්‍ය වේ. පෙරළෙන ස්වභාවය. අන් ආකාරයක් වන්නේය.

’’මහණෙනි, අනිත්‍යවූම ප්‍රත්‍යයක් නිසා උපන්නාවූ මනො සම්ඵස්සය කෙසේ නිත්‍ය වන්නේද, මහණෙනි, ස්පර්‍ශ කරණ ලද්දේ විඳියි. ස්පර්‍ශ කරණ ලද්දේ විධානය කරයි. ස්පර්‍ශ කරණ ලද්දේ හඳුනයි. මෙසේ මේ ධර්‍මයෝද සැලෙන්නාහුය. විනාශ වන්නාහුය. අනිත්‍යයහ. පෙරළෙන ස්වභාවයහ. අන් ආකාරයක් වන්නාහුය. මහණෙනි, මෙසේ වනාහි දෙකක් නිසා විඤ්ඤාණය හටගණීය’’ යි වදාළ සේක.

සතරවන ඡන්න වර්‍ගය නිමි.