සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
3. මාතුගාම සංයුත්තය
1. පළමුවෙනි වර්ගය
5. කෝධන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.
“ස්වාමීනි, මම පිරිසිදුවූ මිනිස් ඇස ඉක්මවූ දිවැ’සින් මේ ලෝකයෙහි ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් තොර නපුරු ගති ඇති, විසමව වැටෙන නරකයෙහි උපදින ස්ත්‍රියක් දකිමි.
“ස්වාමීනි, කෙතෙක් ධර්මයන්ගෙන් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදින්නේද”?
“අනුරුද්ධය, කරුණු පසකින් යුක්තවූ ස්ත්‍රිය ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විසමව පතිතවන නිරයෙහි උපදී. කවර පසකින්ද යත්, ශ්‍රද්ධාව නැත්තියක් වේද, ලජ්ජා නැත්තියක් වේද, භය නැත්තියක් වේද, ක්‍රොධ කරන්නියක් වේද, නුවණ නැත්තියක් වේද, අනුරුද්ධය මේ ධර්ම පසින් යුක්තවූ නපුරු ගති ඇති ස්ත්‍රිය කය බිඳීමෙන් මරණින් මතු සැප නැති, විසමව වැටෙන නිරයේ උපදී.”