සංයුත්තනිකායො

මහා වර්ගය

1. මාර්ග සංයුත්තය

4. පටිපත්ති වර්ගය

1. පළමු පටිපත්ති සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා ඒ භික්ෂූහු ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, තොපට මිථ්‍යා ප්‍රතිපත්තියද සම්‍යක් ප්‍රතිපත්තියද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, මිථ්‍යා ප්‍රතිපත්තිය නම් කවරීද?

ඒ මෙසේයි. මිථ්‍යා දෘෂ්ටිය, මිථ්‍යා සංකල්පය, මිථ්‍යා වචනය, මිථ්‍යා කර්මාන්තය, මිථ්‍යා ආජීවය, මිථ්‍යා ව්‍යායාමය, මිථ්‍යා සතිය සහ මිථ්‍යා සමාධියයි. “මහණෙනි, මේ මිථ්‍යා ප්‍රතිපත්තියයි කියනු ලැබේ. මහණෙනි, සම්‍යක් ප්‍රතිපත්තිය නම් කුමක්ද? ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මෙයයි.

“මහණෙනි, මේ සම්‍යක් ප්‍රතිපත්තියයි කියනු ලැබේ.