සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
1. අවිජ්ජා වර්ගය
4. ජානුස්සොණීය සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක.
එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු ගෙන සැවැත් නුවර පිඬු පිණිස වැඩියහ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සුදු වෙළඹුන් (සතර) දෙනෙකුන් යෙදූ සියල්ල සුදුවූ රථයකින් සැවැත් නුවර යන්නාවූ ජානුස්සොණි බ්‍රාහ්මණයා දුටුවේය. (එකී රථයෙහි) සුදු අශ්වයෝ යොදන ලද්දාහු වෙත්. ආභරණද සුදුය. රථයද සුදුය. ඇතිරිළිද සුදුය. රැහැන්ද සුදුය. කෙවිටද සුදුය. (රථයෙහි නැංවූ) ඡත්‍රයද සුදුය. හිස් වෙලුමද සුදුය. (හැඳි) වස්ත්‍රද සුදුය. පාවහන්ද සුදුය. සුදු විජිනිපතින් පවන් සලයි. මිනිසුන් එය දැක ‘පින්වත්නි, මෙය උතුම් යානයකි. පින්වත්නි, ඒකාන්තයෙන් උතුම් යානයක ස්වභාවය ඇත්තේයයි” කීහ.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස වැඩ පස්වරුවෙහි පිණ්ඩපාතයෙන් වැලකුනේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය.
“ස්වාමීනි, පෙරවරුවෙහි මම හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. ස්වාමීනි, සුදු වෙළඹුන් (සතර) දෙනෙකුන් යෙදූ සියල්ල සුදු රථයකින් සැවැත් නුවර යන්නාවූ ජානුස්සොණි බ්‍රාහ්මණයා මම දුටුවෙමි. (එම රථයෙහි) සුදු අශ්වයෝ යොදන ලද්දාහු වෙති. ආභරණද සුදුය රථයද සුදුය. ඇතිරිළිද සුදුය. රැහැන්ද සුදුය. කෙවිටද සුදුය. (රථයෙහි නැංවූ) ඡත්‍රයද සුදුය. සුදු විජිනිපත්වලින් පවන් සලයි. එය දුටු මිනිස්සු ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ උතුම් යානයකි. පින්වත්නි, ඒකාන්තයෙන් මෙය උතුම් යානයක ස්වභාවය ඇත්තේයයි’ කීහ. ස්වාමීනි, මේ (ධර්මවිනය නම්) ශාසනයෙහි උතුම් යානයක් පනවන්ට හැක්කේද?
“ආනන්දයෙනි, හැකියයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“ආනන්දය, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයටම උතුම් යයි කියාද ධර්මයානයයි කියාද නිරුත්තර සංග්‍රාම විජයයි කියාද නමකි.
“වඩන ලද බහුල කරනලද සම්‍යක් දෘෂ්ටිය රාගය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. දොසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි මොහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් සංකල්පය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් වචනය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය පහකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් කර්මාන්තය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් ආජීවය රාගය දුරු කිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් ව්‍යායාමය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුලකරනලද සම්‍යක් සතිය රාගය පහකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. ද්වෙෂය පහකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය පහකිරීම කෙළවර කොට ඇත්තේ වෙයි.
“ආනන්දය, වඩනලද බහුලකරනලද සම්‍යක් සමාධිය රාගය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි, ද්වෙෂය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි. මොහය දුරුකිරීම කෙළවරකොට ඇත්තේ වෙයි.
“ආනන්දය, යම් ආකාරයකින් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයට බ්‍රහ්මයාන යයි කියාද, ධර්මයානයයි කියාද, අනුත්තර සංග්‍රාම විජයයි කියාද කියන්නේ නම් ඒ මේ ආකාරයෙන් දතයුතුය.”
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. සුගතයන් වහන්සේ මෙසේ වදාරා නැවතද මෙසේ වදාළසේක.
‘යම් ආර්යමාර්ග සංඛ්‍යාත යානහුගේ ශ්‍රද්ධාවද ප්‍රඥාවද යන ධර්ම දෙක වියගසෙහි යොදනලද ගවයන් දෙදෙනා වෙති. හිරි ඔතප් දෙක රථ හිස වෙයි. විදර්ශනා සිත රැහැණය. සිහිය රථය රක්නා සහ පදවන රියදුරු වෙයි.
රථය ශීල නමැති අලංකාරයෙන් යුක්තය. ධ්‍යාන නමැති කඩඇණයෙන් යුක්තය. කායිකවීර්ය, චෛතසික වීර්ය යන රෝද දෙකින් යුක්තය. තත්‍රමජ්ඣත්තතා උපෙක්ෂාව වියදණ්ඩෙහි සම බව වෙයි. ඇතිරිල්ලය ආලොකය. මෛත්‍රී කරුණාව ත්‍රිවිධ විවේකය යන ධර්ම පස රථයෙහි සිටින කුලපුත්‍රයාගේ ආයුධ පස වෙති. ඉවසීම යුද්ධ ඇඳුම් වෙයි. මේ යානය නිවනට අභිමුඛව ගමන් කරයි. තමන් තුළ පහළවූ මේ යානය අනුත්තර වෙයි. ශ්‍රෙෂ්ඨ යානයක් වෙයි. (යමෙකුන්ට මේ යානය ඇත්තේද) ඒ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් කෙලෙසුන් ජය ගනිමින් ලොකයෙන් නික්ම යන්නාහ.”