සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
4. පටිපත්ති වර්ගය
10. බ්‍රහ්මචරියත්ථ සූත්‍රය
“මහණෙනි, තොපට මම බ්‍රහ්මචරියාවද බ්‍රහ්ම චරියාවේ අර්ථයද දෙශනා කරන්නෙමි. එය අසව්. මහණෙනි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි. ඒ මෙසේයි. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි. මහණෙනි, මෙය බ්‍රහ්ම චරියාවයයි කියනු ලැබේ.
“මහණෙනි, බ්‍රහ්මචරියාවේ අර්ථය නම් කවරේද? මහණෙනි, රාගය ක්ෂය කිරීමට නිමිත්තවූ ද්වෙෂය ක්ෂය කිරීමට නිමිත්තවූ මොහය ක්ෂය කිරීමට නිමිත්තවූ යම් නිර්වාණයක් වේද මෙය බ්‍රහ්මචරියාවේ අර්ථයයි කියනු ලැබේයයි” වදාළසේක.
පටිපත්තිවග්ගො චතුත්ථො.