සංයුත්තනිකායො
මහා වර්ගය
2. බොජ්ඣංග සංයුත්තය
2. ගිලාන වර්ගය
5. මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ඣංග (ගිලාන 2) සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරුකොට කලන්දක නිවාප නම්වූ වෙළුවනයෙහි වැඩ වසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙමේ හටගත් ආබාධ ඇත්තේ හටගත් දුක් ඇත්තේ දැඩි ගිලන්වූයේ ගිජුකුළු පව්වෙහි වැඩ වාසය කරයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවෙක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් යම්තැනකද එතැන්හි වැඩිසේක. වැඩමවා පනවනලද අස්නෙහි වැඩහුන්සේක. හිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන්ට මේ කාරණය වදාළසේක.
“කිම? මොග්ගල්ලානය, ඔබට ඉවසිය හැකිද? කිම, ඉරියව් පැවැත්විය හැකිද, කිම දුක්ඛවේදනාවෝ දුරුවෙත්ද? නොනැගෙත්ද? අඩුවීම පෙනේද? වැඩිවීම නොපෙනේද? “ස්වාමීනි, මට ඉවසිය නොහැක්කේය. යැපිය නොහැක්කේය. මාගේ බලවත් දුක් වේදනාවෝ වැඩෙන්නාහ. අඩු නොවන්නාහ. වැඩිවන බව පෙනෙයි. අඩුවන බව නොපෙනෙයි.”
“මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද්දාවූ, වඩන ලද්දාවූ, බහුල කරන ලද්දාවූ, මේ සප්ත බොජ්ඣංගයෝ චතුස්සත්‍යයන්ගේ දැනගැනීම පිණිසද අවබොධය පිණිසද, නිවන් පිණිසද, පවතිත්. ඒ සත කවරහුද යත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද සතිසම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිවන් පිණිසද පවතිත්. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ධම්මවිචය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරනලද විරිය සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත් මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩන ලද බහුල කරන ලද ප්‍රීති සම්බොජ්ඣංගය චතුස්සත්‍යයෙන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩනලද බහුල කරන ලද පස්සද්ධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩන ලද බහුල කරන ලද සමාධි සම්බොජ්ඣංගය චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියන ලද වඩන ලද බහුල කරන ලද උපෙක්ෂා සම්බොජ්ඣංගය වතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතියි. මොග්ගල්ලානය, මා විසින් මනාකොට කියනලද වඩනලද බහුල කරන ලද මේ සප්ත සම්බොජ්ඣංගයෝ (එය) චතුස්සත්‍යයන් දැනගැනීම පිණිසද අවබෝධය පිණිසද නිවන් පිණිසද පවතිත්.
“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ. සුගතයන් වහන්ස, බොජ්ඣංගයෝ ඒකාන්තයෙන් සත්‍යයහ.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවිය. මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ රෝගයෙන් නැගිට්ටේය. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේගේ ඒ රෝගය (නැවත නූපදීද) එපරිද්දෙන් දුරුවූයේ විය.