සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

4. නීවරණ වර්ගය

1. අප්පමාද මූලක සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

[2] “මහණෙනි, කුසල කොට්ඨාසයට අයත්වූ කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල අප්‍රමාදය මුල්කොට ඇත්තාහ. අප්‍රමාදය හැසිරීම කොට ඇත්තාහ. අප්‍රමාදය ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ. මහණෙනි, අප්‍රමාදවූ භික්ෂුව සප්තබොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මෙය කැමතිවිය යුතුය. මහණෙනි, අප්‍රමාදවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩයිද? නැවත නැවත පුරුදු කරයිද?

[3] “මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙම විවෙකය ඇසුරු කළාවූ, විරාගය ඇසුරු කළාවූ, නිරොධය ඇසුරු කළාවූ, නිවන් පිණිස නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,

[4] “මහණෙනි, මෙසේ වනාහි අප්‍රමාදවූ මහණතෙමේ සප්ත බොධ්‍යංගයන් වඩයි. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කෙරේයයි” වදාළසේක.