සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
3. අයොගුළ වර්ගය
7. දුතිය ආනන්ද පඤ්හ සූත්‍රය
[2] එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
[3] “ස්වාමීනි, ඉද්ධිය නම් කුමක්ද, ඉද්ධිපාද නම් කුමක්ද, ඉද්ධිපාදයන් වැඩීමට පැමිණෙන මාර්ගය නම් කුමක්ද? යනුයි.
“ආනන්දය මේ ශාසනයෙහි මහණතෙමෙ නොයෙක් ඉද්ධි කොටස් අනුභව කරයිද, එකෙක්ව බොහෝ දෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම්සේද එසේ ප්‍රකටවීම මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියෙකු මෙන් පර්‍ය්‍යංකයෙන් ගියාහුය. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරි මැද්දාහුය. බඹලොව තෙක් කයින් වසඟ බව පැවැත්වූවාහුය. ආනන්දය, මේ ඉද්ධියයි කියනු ලැබේ.
[4] “ආනන්දය, ඉද්ධිපාදය කවරේද? ආනන්දය, ඉද්ධිපාද වැඩීම පිණිස ඉද්ධිය ලැබීම පිණිස යම් මාර්ගයක් යම් ප්‍රතිපදාවක් වෙයිද, ආනන්දය, මේ ඉද්ධිපාදයයි කියනු ලැබේ.
[5] “ආනන්දය, ඉද්ධිපාද වැඩීම නම් කවරේද? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ ඡන්දය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, ආනන්දය මේ ඉද්ධිපාද වැඩීම යයි කියනු ලැබේ.
[6] “ආනන්දය, ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාව කවරීද? මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය මැයි. ඒ කවරේද? සම්‍යක් දිට්ඨිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කාර්මාන්තය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ආජීවය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යනුයි. ආනන්දය, මේ ඉද්ධිපාද වැඩීමට පැමිණෙන ප්‍රතිපදාවයයි කියනු ලැබේ.”