සංයුත්තනිකායො

සගාථ වර්ගය

8. වඞ්ගීස සංයුත්තය

6. සාරිපුත්ත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම සම්පූර්‍ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්‍යඤ්ජන ඇත්තාවූ, අර්ත්‍ථය හැඟවීමෙහි සමර්ත්‍ථවූ වචන ඇති, දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට, මෙනෙහි කොට, එහි ප්‍රයෝජනය තකා ඒ කරුණු හාත් පසින් සිතට ඇතුළු කොට, කන් යොමු කොට ඒ ධර්මය අසත්.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’’මේ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිර තෙම, සම්පූර්‍ණවූ, ගොත නොගසන්නාවූ, නිර්දෝෂවූ, නොගිලිහුණු පද ව්‍යඤ්ජන ඇත්තාවූ, අර්ත්‍ථය හැඟවීමට සමර්ත්‍ථ වචන ඇති, දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. පිළිගැන්වීම අවබෝධ කරවයි, තෙදගන්වයි, සතුටු කරවයි. ඒ භික්‍ෂූහුද අර්ත්‍ථවත් කොට, මෙනෙහි කොට සියල්ල සිතට ඇතුළු කොට, කන් යොමු කොට ධර්මය අසති. මම ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි’’ යි ( කියායි.)

ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, අසුනෙන් නැගිට සිවුර ඒකාංශකොට සැරියුත් තෙරුන්වෙත ඇඳිලි බැඳ (අත් එකට තබා වැඳ)ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට මෙසේ කීය: ’’ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයෙනි, මට ( අදහසක් ) වැටහේ.’’ ’’ආයුෂ්මත් වඞ්ගීසයෙනි, එහ ( තොපට ) වැටහේවා.’’

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙම, ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරයන් හමුවෙහි සුදුසු ගාථායෙන් ප්‍රසංශා කෙළේය:

’’ගැඹුරු ප්‍රඥා ඇති, නුවණැති, මාර්‍ගාමාර්‍ග දැනීමෙහි දක්‍ෂ, මහා ප්‍රඥාවත්වූ ශාරීපුත්‍ර ස්ථවිරතෙම භික්‍ෂූන්ට ධර්‍ම දේශනා කරයි.

’’( හෙතෙම ) සංක්‍ෂෙපයෙන්ද දේශනා කරයි, විස්තර වශයෙන්ද බණ වදාරයි. මධුරස්වරය සැළලිහිණි හඬ හා සමානය. ප්‍රතිභාණය නගී.

’’( භික්‍ෂූහු ) ඇලුම් කටයුතුවූ, ශ්‍රවණය කටයුතුවූ, ප්‍රීති ගෙනදෙන ස්වරයෙන් යුක්තවූ, දහම් දෙසන ඔහුගේ මිහිරි තෙපුල් අසත්. ඔද වැඩි සිත් ඇති, ප්‍රමුදිත සිත් ඇති, ඒ භික්‍ෂූහු ඔහුගේ වචනයට කන් යොමු කෙරෙත්.’’