ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

13. සෙරෙය්‍ය වග්ග

9. ගණ්ඨිපුප්පිය ථෙරාපදානය

’’දක්‍ෂිණාර්‍හවූ, ස්වර්‍ණවර්‍ණවූ, විපස්සී බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදුයේ ආරාමයෙන් නික්මුණු සේක.

’’මම මොහඳුරු දුරු කරන්නාවූ, සර්‍වඥවූ, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ලද පස් මල් පිදීමි.

’’විපදෝත්තමවූ, තාදී ගුණ ඇති බුදුරජුන්හට (ඇතිකරගත්) ඒ චිත්ත ප්‍රසාදය කරණකොටගෙණ සතුටුවූයේ, සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.

’’මින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, චරණ නම් සක්විති රජෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගණ්ඨිපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ගණ්ඨිපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.