ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
10. සපිරිවාර ඡත්තදායක ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි දිය වැස්සක් මෙන් දහම් වැසි වස්වති.
’’අමා පිය (නිර්‍වාණ ධර්‍මය) දෙසන්නාවූ එම සම්බුදුරජුන් දුටිමි. (දැක) සිය සිත පහදවා තම ගෙට ගියෙමි.
’’අලංකාර කරණ ලද ඡත්‍රයක් (කුඩයක්) ගෙන නරෝත්තමවූ බුදුරජුන් වෙත එළඹියෙමි. සතුටුවූයේ, සතුටු සිතින් මම (එය) අහසෙහි දැමීමි.
’’මැනවින් සකස් කළ යානයක් මෙන්ද, දැමුණු උතුම් ශ්‍රාවකයෙකු මෙන්ද, සම්බුදුන් වෙත එළඹ හිස මතුයෙහි (උඩ) පිහිටියේය.
’’ලොවට අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, ලෝකාග්‍රනායක බුදුරජ තෙමේ භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේදයත්)
’’යමෙකු විසින් අලංකාර කරණ ලද, මනරම්වූ මේ ඡත්‍රය (කුඩය) දෙන ලදද, එම සිත පැහැදවීම කරණකොටගෙන හෙතෙම දුතියට නොයයි.
’’දෙවියන් අතුරෙහි සත් වරක් දිව්‍ය රාජ්‍යය කරන්නේය. දෙතිස් වරක් සක්විති රජ වන්නේය.
’’කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදවූ, ධර්‍මයෙන්ම කොට නිම කළාක් වැනි ඖරස බුද්ධ පුත්‍රයෙක්ව, සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය කියායි.
’’මම වදාරණ ලද එම අභීත වචන බුදුරජුන්ගේ හඬයයි දැන, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, වැඩියක්ම සතුටු ඉපදවීමි.
’’මිනිස් අත්බව අත්හැර, දෙව් අත්බවට පැමිණියෙමි. මට මනරම්වූ, උතුම් විමානයක් පැන නැඟුනේය.
’’විමානයෙන් (පිටතට) නික්මෙන්නාවූ මට සේසතක් දරයි. එකල්හි සිහි ලැබීමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකයයි.
’’දෙව්ලොවින් චුතව මිනිසත් බවටද පැමිණියෙමි. මින් සත් සියවන කපෙහි සවරක් සක්විති රජෙක් වීමි.
’’එම (මිනිස්) කයින් චුතව තිදස් පුරයට පැමිණියෙමි. පිළිවෙලින් (එහි) හැසිර නැවත මිනිසත් බවට පැමිණියෙමි.
’’මව් කුසෙහි පිළිසිඳගත් මට සේසත් දැරුවාහුය. උපතින් සත් හැවිරිදි කල්හි මම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගියාවූ ඒ සුනන්‍ද නම් බමුණු තෙම පළිඟු සතක් (කුඩයක්) ගෙන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේට දුන්නේය.
’’මහා වීරවූද, මහා කථිකවූද, ශාරීපුත්‍ර ස්ථවිර තෙමේ අනුමෝදනාව කළහ. උන්වහන්සේගේ අනුමෝදනාව අසා පූර්‍ව (කුශල) කර්‍මය සිහි කෙළෙමි.
’’ඇඳිලි බැඳගෙන සිය සිත පැහැදවීමි. පූර්‍ව (කුශල) කර්‍මය සිහිකොට රහත් බවට පැමිණියෙමි.
’’(මම) එම අසුනෙන් නැගිට හිසෙහි ඇඳිලි බැඳගෙන සම්බුදුරජුන්හට වැඳ මෙම වචන කීමි.
’’මින් සියක් දහස් (ලක්‍ෂයක්) වන කපෙහි, ලෙව්හි උත්තරීතර කෙනෙක් නැති බැවින්) අනුත්තරවූ, චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, (ත්‍රිවිධ) ලෝකය මැනවින් දත්, ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර බුදුරජ තෙම (ලොව පහළවිය.)
’’මා විසින් විසිතුරුවූ, මනාව අලංකාර කරන ලද ඡත්‍රයක් උන්වහන්සේට දෙන ලදී. සියල්ල තෙමේම අවබෝධ කළාවූ, අග්‍ර පුද්ගලවූ සර්‍වඥ තෙම දොහොතින් (එම) පිළිගත්තේය.
’’ බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යයෙකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි. මම එක ඡත්‍රයක් (කුඩයක්) දීම කරණකොටගෙන දුගතියක නොඉපදුනිමි.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන ආශ්‍රව රහිතව (රහත්ව) වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාර ඡත්තදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සපරිවාරඡත්තදායකත්ථෙරස්සාපදානං දසමං.
උමාපුප්ඵියවග්ගො තෙත්තිංසතිමො.