ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

46. ජගතිදායක වග්ග

1. ජගතිදායක ථෙරාපදානය

’’මම දම්මදස්සී බුදුරජුන්ගේ උතුම් බොධි වෘක්‍ෂය (පිහිටි තන්හි) පෘථිවිය පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ කරවීමි.

’’මම පර්‍වත විවරයකින් හෝ, පර්‍වතයකින් හෝ වැටුනේ, (එකල්හි පවා) පිහිටක් ලබමි. පෘථිවිය සකස්කොට දීමෙහි මේ විපාකයයි.

’’හොරු මාගේ (වස්තුව) පැහැර නොගනිත්. රජතෙම (මට) අවමන් නොකෙරේ. සියළු පස මිතුරන් ඉක්මවීමි. පොළොව සකස්කොට දීමෙහි මේ විපාකයයි.

’’දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, ඒ සියළු තන්හි පුදන ලදුයේ වෙමි. පොළොව සකස්කොට දීමෙහි මේ විපාකයයි.

’’මම අටළොස් සියවෙනි කපෙහි පොළොව (සකස්) කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පොළොව සකස්කොට දීමෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

ජගතිදායකත්ථෙරස්සාපදානං පඨමං.