ඛුද්දක නිකාය
උදානය
1. බොධි වර්ගය
2. දුතිය බොධි සූත්‍රය
(මෙය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ සත් දවස ඇවෑමෙන් ඒ සිත එකඟ කිරීමෙන් නැඟිට රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි හේතු ප්‍රත්‍යය ධර්මය අග සිට මුලට (මෙනෙහි කළ සේක.)
මෙසේ මෙය නැති කල්හි මෙය නොවේ. මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධවේ. එනම් “නොදැනීම නැති බව හේතුකොට ගෙන සංස්කාර (කර්ම) නොවන්නේය. සංස්කාර (කර්ම) නැති බව හේතුකොටගෙන විඥාන විපාක සිත් නොවන්නේය. විඥානය නැතිබව හේතුකොට ගෙන නාමරූප (පංචස්කන්ධය) නොවන්නේය. නාමරූප නැතිබව හේතුකොටගෙන ආයතන සය නොවන්නේය. ආයතන සය නැතිබව හේතුකොටගෙන විපාක ස්පර්ශය නොවන්නේය. විපාක ස්පර්ශය නැතිබව හේතුකොටගෙන වේදනාව නොවන්නේය. වේදනාව නැතිබව හේතුකොටගෙන තෘෂ්ණාව නොවන්නේය. තෘෂ්ණාව නැතිබව හේතුකොටගෙන දැඩිව ගැන්ම නොවන්නේය. දැඩිව ගැන්ම නැතිබව හේතුකොටගෙන භව (කර්මද) ස්කන්ධද නොවන්නේය. භවය නැති බව හේතුකොට ගෙන උත්පත්තිය නොවන්නෙය. උත්පත්තිය නැතිබව හේතුකොටගෙන ජරාව, මරණය, ශොකය, වැලපීම, කයට දුක්, සිතට දුක්, දැඩි වෙහෙස යන මොව්හු නොවෙත්. මෙසේ මේ සියළු දුක් රැස් නොවීම වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක.
“කෙලෙස් තවන වීර්යය ඇති ධ්‍යාන කරණ පව් දුරු කළ යොගීහට බොධිපාක්ෂික ධර්ම පහළ වන කල අවිද්‍යාදී හෙතුන්ගෙන් ගෙවීමට කරුණුවූ නිවන ප්රත්යක්ෂ කරණ බැවින් ඔහුගේ සියලු සැකයෝ දුරුවෙත්.”