අංගුත්තර නිකාය

එක නිපාතය

9. ප්‍රමාද වර්ගය

81

යසොවුද්ධි සූත්‍රය—“මහණෙනි, යසසෙහි (කීර්තියෙහි හා පිරිවරෙහි) යම් වැඩීමක් වේද, ඒ මේ වැඩීම සුලුවේ. මහණෙනි, වැඩීම් අතුරෙන් ප්‍රඥාවගේ යම් වැඩීමක් වේද මේ අග්‍රයි. මහණෙනි, එහෙයින් මෙහිදී මෙසේ හික්මිය යුතුයි. ‘ප්‍රඥාව වැඩීමෙන් වැඩෙන්නෙමුයි’ කියායි. මහණෙනි, තොප විසින් වනාහි මෙසේම හික්මිය යුතුය.”

82

පමාද සූත්‍රය—“මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිස පවතී.”

83

අප්පමාද සූත්‍රය—“මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී.”

84

කොසජ්ජ සූත්‍රය—“මහණෙනි, යම්සේ අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලසකම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

85

විරීයාරම්භ සූත්‍රය—“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය මහත්වූ අර්ථය පිණිස පවතී.”

86

මහිච්ඡ සූත්‍රය—“මහණෙනි, යම්සේ මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මහාලෝභී බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

87

අප්පිච්ඡ සූත්‍රය—‘මහණෙනි, යම්සේ අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අලෝභී බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

88

අසන්තුට්ඨි සූත්‍රය—“මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ ලද දෙයින් සතුටු නොවන බව මහත්වූ අනර්ථය පිණිස පවතී.”

89

සන්තුට්ඨි සූත්‍රය—“මහණෙනි, යම්සේ ලදදෙයන් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, මේ ලදදෙයින් සතුටුවීම මහත්වූ අර්ථය පිණිස පවතී.”

90

අයොනිසොමනසිකාර සූත්‍රය—“මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහිකිරීම මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොමදකිමි. මහණෙනි, අනුවණින් මෙනෙහිකිරීම මහත්වූ අනර්ථය පිණිස පවතී.”

91

යොනිසොමනසිකාර සූත්‍රය—“මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම මහත්වූ අර්ථය පිණිස පවතී.”

92

අසම්පජඤ්ඤ සූත්‍රය—“මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි මහණෙනි, සම්‍යක්ප්‍රඥාව නැති බව මහත් අනර්ථය පිණිස පවතී.”

93

සම්පජඤ්ඤ සූත්‍රය—“මහණෙනි, යම්සේ සම්‍යක්ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, සම්‍යක්ප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතී.”

94

පාපමිත්ත සූත්‍රය—“මහණෙනි, යම්සේ පාප මිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, පාපමිතුරන් ඇති බව මහත් අනර්ථය පිණිස පවතී.”

95

කල්‍යාණමිත්ත සූත්‍රය—“මහණෙනි, යම්සේ යහපත් මිතුරන් ඇති බව මහත් අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, යහපත් මිතුරන් ඇති බව මහත්වූ අර්ථය පිණිස පවතී.”

96

අකුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම්සේ අකුශල ධර්මයන්හි යෙදීම හා කුසල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ අකුසල ධර්ම අනුයොගය හා කුශලධර්ම අනනු යොගය බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශල ධර්මයන්ගේ අනුයොගයද කුශල ධර්මයන්ගේ අනනුයොගයද, මහත් අනර්ථය පිණිස පවතී.”

97

කුසලානුයොග සූත්‍රය—“මහණෙනි, යම්සේ කුශලධර්මයන්හි යෙදීම හා අකුශලධර්මයන්හි නොයෙදීම මහත්වූ අර්ථය පිණිස පවතීද, මහණෙනි, මේ බඳුවූ අන් එක ධර්මයකුදු මම නොම දකිමි. මහණෙනි, කුශල ධර්ම අනුයොගයද හා අකුශල ධර්මය අනනුයොගයද, මහත්වූ අර්ථය පිණිස පවතී.”

(නවවෙනි වර්ගය නිමි.)