අංගුත්තර නිකාය

එක නිපාතය

2. රථකාර වර්ගය

15. පචෙතන සූත්‍රය

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට ‘මහණෙනියි” අඬගා වදාළ සේක. ඒ භික්ෂූහු “ස්වාමීනියි” භාග්‍යවතුන්වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළෝය.

“මහණෙනි, පෙර පචෙතන නම් රජෙක් විය. මහණෙනි එකල්හි ඒ පචෙතන රජතෙමේ රිය සාදන්නාට අඬගසා මෙසේ කීය. යහළු රියකරුව මාහට මෙයින් සමසකට පසු යුද්ධයක් ඇත්තේය. යහළු රියකරුව මට අලුත් රථචක්‍ර දෙකක් කිරීමට හැකිද?’යනුයි. මහණෙනි, දෙවයන්වහන්ස හැක්කෙමි’යි රියකරුතෙමේ පචෙතන රජහට උත්තර දුනි.

“මහණෙනි, ඉක්බිති රියකරු තෙමේ සදිනක් අඩු සමසකින් එක් චක්‍රයක් නිමවීය. ඉක්බිති පචෙතන රජ තෙමේ රිය කැඳවිය. ‘යහළු රිය කරුව, මෙයින් සදිනකට පසු මට යුද්ධයක් ඇත්තේය. අළුත් චක්‍ර දෙකක් නිමවී දැයි ඇසීය. ‘දෙවයන්වහන්ස, මේ සදිනක් අඩු සමසින් එක් චක්‍රයක් නිමියේයයි’ කීය. ‘යහළු රියකරුව මාහට මේ සදවසින් දෙවැනි රියසක නිමවිය හැකිද? ‘දෙවයන්වහන්ස, හැක්කෙමියි, රියකරුතෙමේ පචෙතන රජහට උත්තර දුනි

මහණෙනි, ඉක්බිති රියකරුතෙමේ සදිනකින් දෙවැනි රියසක නිමවා අළුත් චක්‍ර දෙක ගෙන පචෙතන රජතෙමේ යම් තැනකද එතැනට ගියේය. ගොස් පචෙතන රජහට දෙවයන්වහන්ස මේ නුඹවහන්සේගේ අලුත් චක්‍ර දෙක නිමියේයයි’ කීය. ‘යහළු රියකරුව මේ සදිනක් අඩු සමසකින් නිමවන ලද රිය සකත් සදිනකින් නිමවන ලද රිය සකත් යන දෙකෙහි වෙනස කුමක්ද? මම වෙනසක් නොදැක්කෙමියි’ කීය. ‘දෙවයන්වහන්සේ ඔවුන්ගේ වෙනසක් ඇත. දෙවයන්වහන්සේ වෙනස බලනු මැනවයි’ කීය.

‘ඉක්බිති රියකරු තෙමේ යම් චක්‍රයක් සදිනකින් නිමකරන ලද්දේද එය පෙරලා හැරියේය. පෙරලා හරින ලද එය තල්ලු කළ වේගයෙන් යා යුතු තැන යම් පමණද ඒතාක් ගොස් වැනී පොළොවෙහි වැටුණේය. යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවීද එය පෙරලා හැරියේය. පෙරලා හරිනලද එය තල්ලුකළ වේගයෙන් යායුතු තැන යම් තැනැක්ද එතැන දක්වා ගොස් අකුරෙහි (අලවංගුවෙහි) ගසනලද්දාක් මෙන් සිටියේය.

“යහළු රියකරුව, යම් චක්‍රයක් සදවසකින් නිමවන ලද්දේද පෙරලා හරිනලද්දාවූ එය තල්ලු කළ වේගය ඇතිතාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. ඊට හෙතුව කාරණය කුමක්ද? යහළු රියකරුව යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමවන ලදද පෙරලා හරිනලද්දාවූ එය තල්ලුකළ වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසන ලද්දාක්මෙන් සිටියි ඊට හේතුව කාරණය කිමදැයි’ ඇසීය. ‘දේවයන්වහන්ස, යම් චක්‍රයක් සදවසකින් නිමකරන ලද්දේද එහි පට්ටමත් ඇදය, දොස් සහිතය, එළය සහිතය, ගරාදිද ඇදය, දොස් සහිතය, එළය සහිතය, බොස්ගෙඩියද ඇදය, දොස් සහිතය, එළය සහිතය, පට්ටමත් ඇද බැවින් දොස්සහිත බැවින් එළය සහිත බැවින් ගරාදිද ඇද බැවින් දොස්සහිත බැවින් එළය සහිත බැවින් බොස්ගෙඩියත් ඇද බැවින් දොස් සහිත බැවින් එළය සහිත බැවින් පෙරළා යවනලද එය වේගය ඇතිතාක් ගොස් වැනී පොළොවෙහි වැටෙයි. දෙවයන්වහන්ස, යම් චක්‍රයක් සදිනක් අඩු සමසකින් නිමකරන ලද්දේද එහි පට්ටමද නොඇදය, නිදොස්ය, එළයෙන් තොරය. ගරාදිද නොඇදය, නිදොස්ය, එළයෙන් තොරය. බොස්ගෙඩියද නොඇදය, නිදොස්ය, එළයෙන් තොරය. පට්ටමද නොඇද බැවින් නිදොස් බැවින් එළයෙන් තොර බැවින් ගරාදිද නොඇද බැවින් නිදොස් බැවින් එළයෙන් තොර බැවින් බොස්ගෙඩියද නොඇද බැවින් නිදොස් බැවින් එළයෙන් තොර බැවින් පෙරලා හරිනලද එය වේගය ඇතිතාක් ගොස් අකුරෙහි ගසන ලද්දාක් මෙන් සිටියි.”’

“මහණෙනි, තොප විසින් එකල්හි ඒ රියකරුතෙම අනිකෙකැයි සිතිය හැකිය. මහණෙනි, එසේ නොසිතිය යුතුය. එකල්හි මම ඒ රියකරු වීමි. මහණෙනි, මම එකල්හි ලීවල ඇදකුද දොස් වැරදි පිළිබඳ දක්ෂයෙක්මි. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ මම දැන් වනාහි ශ්‍රාවකයන්ගේ කායවංක කාය දොස කාය කසටයන් පිළිබඳ දක්ෂවෙමි. වචී වංක වචී දොස වචී කසටයන් පිළිබඳ දක්ෂවෙමි. මනො වංක මනොදොස මනොකසටයන් පිළිබඳ දක්ෂවෙමි.

“මහණෙනි, යම්කිසි භික්ෂුවක්හුගේ හෝ භික්ෂුණීයකගේ හෝ කායවංක කායදොස කාය කසට පහනොවූයේද වචීවංක වචීදොස වචීකසට පහනොවූයේද මනො වංක මනො දොස මනො කසට පහනොවූයේද මහණෙනි, ඔවුහු ඒ සදිනකින් නිමකරන ලද චක්‍රය යම්සේද එමෙන් මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙන් වැටෙන්නාහ.

“මහණෙනි, යම්කිසි භික්ෂුවක්හුගේ හෝ කායවංක කායදොස කායකසට පහවූයේද වචීවවංක වචීදොස වචීකසට පහවූයේද මනොවංක මනොදොස මනොකසට පහවූයේද ඔව්හු සදිනක් අඩු සමසකින් නිමවන ලද ඒ චක්‍රය යම්සේද එමෙන් මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි පිහිටියාහු වෙති.

“මහණෙනි, එහෙයින් කායවංක කායදොස කාය කසට පහකරන්නෙමු. වචීවංක වචීදොස මනොකසට පහකරන්නෙමුයි මෙසේ හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි’ වදාළේය.”