අංගුත්තර නිකාය
එක නිපාතය
16. අචෙලක වර්ගය
156. සතිපට්ඨාන මජ්ඣම පටිපදා සූත්‍රය
“මහණෙනි, මේ ප්‍රතිපදා තුනකි. කවර තුනක්ද? ආගාළ්හ පටිපදා (කර්කශ ප්‍රතිදාව) නිජ්ඣාම පටිපදා (දැවීම් සහිත ප්‍රතිපදාව) මජ්ක්‍ධිම පටිපදා (මධ්‍යම ප්‍රතිපදාව) යනුයි.
“මහණෙනි, ආගාළ්හ පටිපදාව නම් කවරේද? මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්හි දොෂයක් නැත යන මේ දෘෂ්ටිය ඇත්තේ වෙයි. හෙතෙම කාම වස්තූන් පරිභොගයට පැමිණෙයි. මහණෙනි, මේ ආගාළ්හ පටිපදාවයි.
“මහණෙනි, නිජ්ඣාම පටිපදාව කවරේද? මහණෙනි, මේ ලොකයෙන් ඇතැම් අචෙලකයෙක් (නිර්වස්ත්‍ර තවුසෙක්) ශිෂ්ට පැවතුම් නැත්තේ වෙයි. ආහාර අනුභවකොට අත ලෙවින්නේ හෝ මල පහකොට අතින් සිඹින්නේ හෝ වෙයි. පිණ්ඩයදීමට කැඳවූවිට නොයන්නේ වෙයි. පිණ්ඩය දීමට නවතිනුයි කීවිට නොනවත්නේ වෙයි පළමුව ගෙනෙන ලද ආහාරය නොපිළිගන්නේ වෙයි. උදෙසා පිළියෙල කරන ලද භොජනය නොපිළිගන්නේ වෙයි. කැඳවීම නොඉවසයි, හෙතෙම මුට්ටියකින් බෙදන ලද භොජනය නොපිළිගනියි, සැලියකින් බෙදන ලද භොජනය නොපිළිගනියි. එළිපත්ත අතරට සිටිනසේ සිට දෙන ලද්ද දණ්ඩක් අතර ඇති සිට දෙනලද්ද මොහොලක් අතර කොට අනුභව කරන දෙනලද්ද නොපිළි ගනියි. දෙදෙනෙකුගෙන් ගැබිණියකින් කිරිපොවන්නියකගෙන් විවාහක ස්ත්‍රියකගෙන් නොපිළිගනියි. සම්මාදම් කළ දෙයක් නොපිළිගනියි, යම්තැනෙක බල්ලන් රැස්වූයේද මැස්සෝ සමූහ සමූහව හැසිරෙත්ද එබඳු තැන්වලින් නොපිළි ගනිත්. මත්ස්‍ය මාංස අනුභව නොකරයි. සුරා නොබොයි. මෙරය නොබොයි නොයෙක් ද්‍රව්‍ය දමා සාදන ලද පානය නොබොයි. හෙතෙම එක් ගෙයකින් දෙනලද දෙයින්ද යැපෙයි එක් බත් පිඩකින්ද යැපෙයි. ගෙවල් දෙකකින් දෙන ලද දෙයින්ද යැපෙයි බත් පිඩු දෙකකින්ද යැපෙයි ගෙවල් සතකින් දෙන ලද දෙයින්ද යැපෙයි, බත් පිඬු සතකින්ද යැපෙයි. එක් කුඩා බත් තැටියකින්ද කුඩා බත් තැටි දෙකකින්ද යැපෙයි. කුඩා බත් තැටි තුනකින්ද යැපෙයි කුඩා බත් තැටි සතකින්ද යැපෙයි, එක් දිනක්ද ආහාර ගනියි. දෙදිනක්ද ආහාර ගනියි, සත් දිනක්ද ආහාර ගනියි, මෙසේ අඩමසක්ද වාර භොජනය අනුභව කිරීමෙහි යෙදී වාසය කරයි. හෙතෙම කොළ කන්නේද වෙයි, බඩ හමු කන්නේද වෙයි, ඌරුහැල් කන්නේද වෙයි, හම් කුඩු කන්නේද වෙයි, මැලියම් කන්නේද වෙයි, වීකුඩුකන්නේද වෙයි, දන්කුඩ කන්නේද වෙයි, පුනක්කු කන්නේද වෙයි, තණ කොළ කන්නේද වෙයි, ගොම කන්නේද වෙයි. වනමුල් ගෙඩි කන්නේද වෙයි, ඉදී වැටුණ ගෙඩි කන්නේද වෙයි.
“හණ වැහැරිද අඳියි, මිශ්‍ර වස්ත්‍රද අඳියි, මළමිනියෙන් ඉවත්කළ වස්ත්‍රද අඳියි, පාංශුකූල වස්ත්‍රද අඳියි, ගස් පතුරුද අඳියි, අඳුන් දිවිසම්ද අඳියි, මැදින් පැලූ අඳුන් දිවි සම්ද අඳියි, කුසතණද අඳියි නියද වැහැරිද අඳියි, පට්ටාද අඳියි, ඉසකේ බකමූණු පිහාටුද අඳියි, හිස රැවුල් උදුරන්නේද වෙයි, හිස රැවුල් ඉදිරීමෙහි යෙදුනේද වෙයි.
ආසන ප්‍රතික්ෂෙපකර හිටගෙන සිටින්නේවේ. උක්කුටුකයෙන් සිටින ධ්‍යානයෙහි ඇලී උක්කුටුකයෙන් සිටින්නේවේ, කටුලෑල්ලෙහි හේත්තුවන්නේ හෝ සයනයද කරයි. සවස තුන්වෙනි කොට ජලයෙහි ගිලෙන්නේවේ. මෙසේ මෙබඳු නොයෙක් කය පෙළන තවන පිළිවෙත්හි යෙදී වාසය කරයි, මහණෙනි, මේ නිජ්ඣාම පටිපදාවයයි කියනු ලැබේ
“මහණෙනි, මධ්‍යම ප්‍රතිපදාව නම් කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වීර්‍ය්‍යයෙන් යුක්තව මනා නුවණ ඇතිව සිහියෙන් යුක්තව ස්කන්ධලොකයෙහි ලොභ දොසයන් දුරුකොට, කයෙහි කය අනුව බලමින් වාසය කරයි.
(මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) වෙදනා අනුව බලමින් වාසය කරයි.
(මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) චිත්තයන් අනුව බලමින් වාසය කරයි.
(මෙහි මේ සූත්‍රයේ 5 ඡෙදය යෙදිය යුතුයි.) ධර්මයන්හි ධර්මයන් අනුව බලමින් වාසය කරයි මහණෙනි, මේ මධ්‍යම ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මහණෙනි, මේ ප්‍රතිපදා තුනය.