අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

83. පුබ්බකරණීය සූත්‍රය

“මහණෙනි, ගෘහපති ගොවියා විසින් පළමුව කළයුතු මේ වැඩ තුනකි. කවර තුනක්ද යත්?

“මහණෙනි, ගෘහපති ගොවිතෙමේ පළමුකොටම කෙත මනාව සාන ලද්දේ, මනාකොට සමකරන ලද්දේවෙයි. පළමුකොට හා සමකොට සුදුසු කාලයෙහි බීජ වපුරන්නේ වෙයි. සුදුසු කාලයෙහි බීජ වපුරා සුදුසු කාලයෙහි වතුර බඳින්නේද වතුර හරින්නේද වෙයි. මහණෙනි, මේ ගෘහපති ගොවියා විසින් පළමුවම කටයුතු වැඩ තුන වෙත්.

“මහණෙනි, එමෙන් භික්ෂුව විසින් පළමුව කටයුතුවූ මේ වැඩ තුනක් වෙත්. කවර තුනක්ද? අධිශීල ශික්ෂා සමාදානය, අධිචිත්ත ශික්ෂා සමාදානය, අධිප්‍රඥා ශික්ෂා සමාදානය යන මොහුයි. මහණෙනි, මේ භික්ෂුව විසින් පළමුව කටයුතු වැඩ තුන වෙත්.

(මේ ඡෙදය මේ සූත්‍රයේ 2 ඡෙදය මෙනි.)