අංගුත්තර නිකාය

එක නිපාතය

9. සමණ වර්ගය

90. පඤ්චම සික්ඛාත්තය සූත්‍රය

(මේ ඡෙද මේ සූත්‍රයේ 1, 2, 3 ඡෙද මෙන් වෙත්.)

“මහණෙනි, අධිප්‍රඥා ශික්ෂාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආශ්‍රවයන් ක්ෂයකිරීමෙන් ආශ්‍රව රහිත අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේ ආත්මයෙහි තමා විශෙෂ ප්‍රඥාවෙන් දැන ඊට පැමිණ වාසය කරයිද, මහණෙනි, මෙය අධිප්‍රඥා ශික්ෂාවයයි කියනු ලැබේ. මහණෙනි, මේ ශික්ෂා තුන වෙති.

(1) “දැඩි වීර්‍ය්‍යය ඇත්තාවූද ප්‍රඥා ඇත්තාවූද ධ්‍යාන වඩන්නාවූද සිහි ඇත්තාවූද රක්නාලද ඉන්ද්‍රිය ඇත්තාවූද වීර්‍ය්‍යවත් පුද්ගල තෙමේ අධිශීල ශික්ෂා අධිචිත්ත ශික්ෂා අධි ප්‍රඥා ශික්ෂා යන ශික්ෂා ත්‍රයෙහි හැසිරෙන්නේය.

(2) “පළමු යම්සේද පසුවද එසේ පසුව යම්සේද පළමුද එසේ, යටි කයෙහි යම්සේද උඩු කයෙහිත් එසේ, උඩු කයෙහි යම්සේද යටි කයෙහිත් එසේ

(3) “දවල් යම්සේද රාත්‍රියෙහිත් එසේ, රාත්‍රියෙහි යම්සේද දවල්ද එසේ, අර්හත්මාර්ග සමාධියෙන් සියලු දිශාවන්හි ආරම්මණයන් මැඩ පවත්වා හැසිරෙන්නේය.

(4) “ඔහු ශෛක්ෂ (හික්මෙන්නෙක්) යයිද පිළිපන්නෙකැයිද, පිරිසිදු සිල් ඇත්තෙකැයිද, ලොකයෙහි චතුස්සත්‍ය අවබොධ කළ කෙනෙකැයිද, වීර්‍ය්‍යය ඇත්තෙකැයිද, ප්‍රතිපත්තියේ කෙළවරට පැමිණියෙකැයිද කියත්.”

(5) “තෘෂ්ණා ක්ෂය විමුක්තියයි කියන ලද අර්හත් ඵල විමුක්තියෙන් යුක්තවූවහුගේ අවසාන විඤ්ඤාණය නිරුද්ධවීමෙන් ප්‍රදීපයාගේ නිවීම මෙන් චිත්තයාගේ මිදීම වන්නේය.”