අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(11) 1. වලාහක වර්‍ගය
8. බලිවද්දොපම සූත්‍රය
’’මහණෙනි, මේ ගවයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. ස්වකීය ගවයන්ට සැර, පිට ගවයන්ට සැර නැති එකෙක. පිට ගවයන්ට සැර, ස්වකීය ගවයන්ට සැර නැති එකෙක. ස්වකීය ගවයන්ට සැර, පිට ගවයන්ට සැර එකෙක. ස්වකීය ගවයන්ටත්, පිට ගවයන්ටත් සැර නැති එකෙක. මහණෙනි, මේ ගවයන් සතර දෙනය. ’’මහණෙනි, එසේම ගවයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්, සගවචණ්ඩවූ, පරගවචණ්ඩ නොවූද, පරගවචණ්ඩද, සගවචණ්ඩ නොවූද, සගවචණ්ඩද, පරගවචණ්ඩද, සගවචණ්ඩනුවූද, පරගවචණ්ඩනොවූද, යන සතර දෙනය.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම සගවචණ්ඩ වේද, පරගවචණ්ඩ නොවේද?
’’මහණෙනි, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙක් ස්වකීය පිරිසට සැර ඵරුෂ වේද, අනුන්ට ඵරුෂ නොවේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම සගව චණ්ඩද, පරගව චණ්ඩ නොවූයේද වේ. මහණෙනි, යම් සේ සගව චණ්ඩවූ, පරගව චණ්ඩ නොවූ ගවයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳු යයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම පරගවචණ්ඩ වේද, සගවචණ්ඩ නොවේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් පිට පිරිසට සැර ඵරුෂද, සිය පිරිසට සැර ඵරුෂ නොවේද, මහණෙනි, මෙවැනි පුද්ගල තෙම පරගව චණ්ඩය. සගව චණ්ඩ නොවේ. මහණෙනි, පරගව චණ්ඩවූ, සගව චණ්ඩ නොවූ ගවයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, කෙසේ පුද්ගල තෙම සගවචණ්ඩ වේද, පරගවචණ්ඩ වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිය පිරිසට චණ්ඩද, ඵරුෂද, පිට පිරිස්වලට චණ්ඩද, ඵරුෂද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම සගවචණ්ඩද, පරගවචණ්ඩද වේ. මහණෙනි, සගවචණ්ඩ, පරගවචණ්ඩ ගවයා යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, පුදගල තෙම කෙසේ සගවචණ්ඩත් නොවේද, පරගවචණ්ඩත් නොවේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තමන්ගේ පිරිසද, අනුන්ගේ පිරිසද උද්වේගයට පමුණුවන්නාහු නොවෙත්ද, මහණෙනි, එසේම පුද්ගල තෙම සගවචණ්ඩත් නොවේ, පරගවචණ්ඩත් නොවේ. මහණෙනි, සගවචණ්ඩ නොවූ, පරගවචණ්ඩ නොවූ. ගවයා යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, ගවයන්ට උපමා ඇති පුද්ගලයෝ සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.