අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

10. තදහුපොසථ සූත්‍රය

එක් සමයෙන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මිගාර මාතා ප්‍රාසාද නම් පූර්‍වාරාමයෙහි වාසය කරණ සේක. ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරාගෙන වැඩ සිටි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූතවූ භික්‍ෂු සංඝයා බලා භික්‍ෂූන් ඇමතූ සේක.

’’මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිතය. මහණෙනි, මේ පිරිස නිශ්ප්‍රලාපය. පිරිසිදුය. එබඳු හරයෙහි පිහිටියේය. මහණෙනි, මේ භික්ඛු සංඝ තෙම යම්බඳු පිරිසක් ලෝකයෙහි දක්නට දුර්ලභද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ පිරිස යම්සේ ආහුණ්‍යෙයද, පාහුණෙය්‍යද, දක්ඛිණෙය්‍යද, අඤ්ජලිකරණීයද, ලෝකයාගේ නිරුත්තර පින්කෙතද, මේ භික්‍ෂු සංඝයා එබඳුය. ස්වල්පයක් දෙන ලද්දේ බොහෝ වේද, බොහෝ දෙන ලද්දේ අතිශයින් බොහෝ වෙත්ද, මහණෙනි, මේ පිරිස එබඳුය. යම් පිරිසක් මාර්‍ගොපකරණ අංශයෙහි බහා, යොදුන් ගනනක් දැක්මට යාමට සුදුසුද, මේ පිරිස එබඳුය. මහණෙනි, මේ භික්‍ෂු සංඝයා අතර දේවත්වයට පැමිණියහු වසත්. මේ භික්‍ෂු සංඝයා එබඳුය. මහණෙනි, මේ භික්‍ෂු සංඝයා අතර බ්‍රහ්මත්වයට පැමිණි භික්‍ෂූහු සිටිත්. මේ භික්‍ෂු සංඝයා අතර නොසෙල්වෙන ස්වභාවයට පැමිණි සංඝයා සිටිත්. මේ භික්‍ෂු සංඝයා අතර ආර්‍ය්‍යක්වයට පැමිණියහු වසත්.

’’මහණෙනි, මහණ තෙම කෙසේ දේවත්වයට පැමිණියේවේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.’’ මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දේවත්වයට පැමිණියේ වේ.

’’මහණෙනි, කෙසේ මහණ තෙම බ්‍රහ්මත්වයට පැමිණියේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

’’මහණෙනි, කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

’’මහණෙනි, මහණ තෙම මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි.

’’මහණෙනි, මහණ තෙම උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම බ්‍රහ්මත්වයට පැමිණියේ වේ.

’’මහණෙනි, කෙසේ මහණ තෙම අකම්පන ස්වභාවයට පැමිණියේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානත්ව සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි, ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ආකාශානඤ්චායතනය සර්‍ව ප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරයි. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම අකම්පන ස්වභාවයට පැමිණියේ වේ.

’’මහණෙනි, කෙසේ මහණ තෙම ආර්‍ය්‍යත්වයට පැමිණියේ වේද, හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ යයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ආර්‍ය්‍යත්වයට පැමිණියේ වේ.’’

දහනවවැනි යොධාජීව වර්‍ගය නිමි.