අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(23) 3. දුච්චරිත වර්‍ගය (සුචරිත වර්‍ගය)
9. අනොත්තාපි සූත්‍රය
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ නූගත් අසත්පුරුෂ බාලයා ගුණ සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. කවර සතරකින්ද යත්,
’’දක්නා ලද්දෙහි නොදක්නා ලද්දෙමියි යන වාද ඇත්තේ වේ. අසන ලද්දෙහි නොඅසන ලද්දේය යන වාද ඇත්තේ වේ. ආඝාණය කළ, රස වින්ද, පහස ලැබූවෙහි නැතැයි යන වාද ඇත්තේය. දත් දෙයෙහි නොදත්තෙමියි යන වාද ඇත්තේ වේ.
’’මහණෙනි, මේ කරුණු සතරින් යුක්තවූ නූගත්, අසත්පුරුෂ බාලයා සාරා දමන ලද, නසන ලද, තමා පරිහරණය කරයි. නුවණැත්තන්ට වරද සහිතද වේ. බොහෝ අකුසල්ද රැස් කරයි. රැස් කෙරේය’’ යි වදාළ සේක.
’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.
’’ කවර සතරකින්ද යත්, දුටු දෙයෙහි දැක්කේයි වාද ඇත්තේ වේ. ඇසූ දෙයෙහි අසන ලද්දේයයි වාද ඇත්තේ වේ. ආඝ්‍රාණය කළ, රස වින්ද, පහස ලද දෙයෙහි ලද්දේයයි යන වාද ඇත්තේය. දන්නා ලද්දෙහි දත්තේයයි වාද ඇත්තේ වේ.’’
’’මහණෙනි මේ කරුණු සතරින් යුක්තවූ පණ්ඩිත, ව්‍යක්ත සත්පුරුෂයා, සාරා නොදමන ලද, නොනසන ලද, ආත්මය පරිහරණය කරයි. නිවරද ද වේ. නුවණැත්තන්ට වරද නැත්තේ බොහෝ පින්ද රැස්කරයි.