අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
5. නකුලපිතු සූත්‍රය
’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගු රට සුංසුමාර පර්‍වතයෙහි, භෙසකලා වනයෙහි, මිගදායෙහි වාසය කරණ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන, නකුල පිතෘ ගෘහපතියාගේ ගෘහය යම් තැනකද, එහි වැඩි සේක. වැඩ, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එකල්හි නකුල පිතෘ ගෘහපති තෙමේද, නකුල මාතා ගෘහපතිනියද, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් කලක බාල වයස්වූ නකුල මාතාව, බාල වයස්වූ මා ගෙන එන ලද්දීද, නකුල මාතා ගෘහපතිනිය සිතිනුදු ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු’’ යි කීයේය.
’’නකුල මාතා ගෘහපතනියද, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, යම් කාලයක බාල වයසෙහිවූ නකුල පිතෘ ගෘහපතියාට බාල වයසෙහි සිටි මම ගෙන එන ලද්දෙමි. නකුල පිතෘ ගෘහපතිතෙම සිතිනුදු මා ඉක්මවා හැසිරීමක් නොදනිමි. කයින් කියනුම කවරේද? ස්වාමීනි, අපි මෙලෙස මෙලොවද ඔවුනොවුන් දකින්නට කැමතිවෙමු. පරලොවද ඔවුනොවුන් දකින්නට කැමති වෙමු.’’
’’ගෘහපතිවරුනි, අඹු සැමි දෙදෙන මෙලොවද ඔවුන් දක්නටද, පරලොව ඔවුනොවුන් දක්නටද, කැමැත්තේ නම් දෙදෙනම සමාන ශ්‍රද්‍ධා, සමාන සීල, සමාන ත්‍යාග, සමාන ප්‍රඥා ඇත්තෝ වන්නාහුය. ඔවුහු මෙලොවද ඔවුනොවුන් දකිත්. පරලොවද ඔවුනොවුන් දකිත්’’ යයි වදාළ සේක.
’’අඹු සැමි දෙදෙන ශ්‍රද්‍ධාවන්තද, යාචක ජනයාගේ වචන දන්නාහුද, සංයමද, ධාර්මික ජීවිකාවෙන් යුක්තද, ඔවුහු ඔවුනොවුන් ප්‍රිය වචන කියන්නාහු වෙත්ද, ඔවුන්ගේ වස්තූහු බොහෝ වෙත්. පහසුව පිණිස පවතී. සමාන ස්වභාව ඇති දෙදෙනාගේ අමිත්‍රයෝ දුර්මුඛ වෙත්. සමාන සීල පැවතුම් ඇති දෙදෙන මෙලොව ධර්‍මයෙහි හැසිර කැමති දෙයින් කැමති වෙමින් සතුටු වන්නාහු දෙව්ලොවදීත් සතුටුවෙත්.’’