අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. අනුත්තරිය වර්‍ගය

9. උදායී අනුස්ස තිඨාන සූත්‍රය

ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක. ’උදායීනි, අනුස්මෘති කාරණා කෙතෙක්ද ?’ මෙසේ විචාල කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම නිශ්ශබ්ද විය. දෙවනුවත් ඇමතූ සේක. දෙවනුවත් නිශ්ශබ්ද විය. තුන්වෙනුව ඇමතූ සේක. තුන්වෙනුවත් නිශ්ශබ්ද විය.

’’ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙසේ කීය. ’ඇවැත් උදායීනි, ශාස්තෲන් වහන්සේ ඔබ අමතන සේක.’’ ’’ආයුෂ්මත් ආනන්‍දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේහට ඇහුම්කන් දෙමි. ස්වාමීනි, මේ සස්නෙහි භික්‍ෂූහු නන් වවැදෑරුම් ලෙස පෙර විසූ ජාතීන් සිහිකරත්. කෙසේද ?

(අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්‍ගයේ 8 සූත්‍රයේ අන්තිම කොටස යෙදිය යුතුයි.) තුන්වන ධ්‍යානයට පැමිණ වෙසෙයි. ස්වාමීනි, මේ අනුස්මෘති කාරණයයි. මෙසේ වඩනා ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ මෙලොව පහසු විහරණය පිණිස පවතියි. ස්වාමීනි, නැවතද වනාහි භික්‍ෂුතෙමේ ආලෝකය යන හැඟීම මෙනෙහි කෙරේද, දහවල යන හැඟීම ඉටාද, දහවල යම්සේද, රැයද එසේය. රැය යම්සේද, දහවලද එසේයයි නොවැසුන පිරිසිදු සිතින් බැබලීම් සහිත සිත වඩාද, ස්වාමීනි, මේ අනුස්මෘති කාරණය මෙසේ වඩනා ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ ඥාන දර්‍ශනය ලැබීම පිණිස පවතියි.’’

’’ස්වාමීනි, නැවතද වනාහි මහණතෙමේ මෙම කය පතුලෙන් උඩ, හිස කෙසින් යට සම අවසන්කොට පිරුණු නන් වැදෑරුම් අශූචි එකක් එකක් අනුව බලාද, මේ කයෙහි කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුළුය, වකුගඩුවය, හදවතය, අක්මාය, දළඹුවය, බඩදිවය, පපුවය, අතුනුය, බඩවැල්ය, නොපැසුන ආහාරය, මලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සද මිදුළුය, මූත්‍රය, (යනුවෙනි.)

’’ස්වාමීනි, මේ අනුස්මෘති කාරණායි. මෙසේ වඩන ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ, කාම රාගය සංසිඳීම පිණිස පවතී.

’’ස්වාමීනි, නැවතද භික්‍ෂුතෙමේ යම්සේ සොහොනේ දමන ලද මැරී දිනක්වූ, මැරී දෙදිනක්වූ, මැරී තුන් දිනක්වූ, ඉදිමී හෝ, ඉතා නිල්වූ හෝ, ඉතා පැසවූ හෝ ශරීරයක් බලන්නේද, හෙතෙමේ මේ කය වනාහි මෙබඳු ස්වභාව ඇත්තේය. මෙසේ වන සුලුය. මෙය ඉක්මුණේ නැතැයිද මේ කය මෙසේ සමකොට බලයි.

’’යම්සේ සෙහොනෙහි හර දැමූ, කවුඩන් විසින් කනු ලබන, උකුස්සන් විසින් හෝ කනු ලබන, ගිජුලිහිණින් විසින් හෝ කනු ලබන, බල්ලන් විසින් හෝ කනු ලබන, සිවලුන් විසින් හෝ කනු ලබන, නන් වැදෑරුම් සත්ත්‍ව සමූහයා විසින් කනු ලබන, ශරීරය බලන්නේද, මේ කයද මෙබඳු ස්වභාව ඇත්තේය. මෙසේ වන සුලුය. මෙය නොඉක්මවන ලද්දේයයි, හෙතෙමේ මෙම කයද, එසේ සමකොට බලන්නේය.

’’යම්සේ සොහොන්හි දමන ලද, මස් ලේ සහිතවූ, නහරින් බැඳුණු, ඇට සැකිල්ලද, මස් ලේ නැති, ලේ වැකුණු, නහරින් බැඳුණු ඇට සැකිල්ලද, බැඳුුම් කැඩී, අත් ඇටය අන් තැනෙකය, පා ඇටය අන් තැනෙකය, දන ඇටය අන් තැනෙකය, කලවා ඇටය අන් තැනෙකය, ඉඟ ඇටය අන් තැනෙකය, පිට ඇටය අන් තැනෙකය, ඉස්කබල අන් තැනෙකයයි නොයෙක් දිශාවල විසුරුණු, ශරීරය බලන්නේද, මේ කයද මෙය නොඉක්මවන ලද්දේයයි, හෙතෙමේ මෙම කයද, එසේ සමකොට බලන්නේය.

’’යම්සේ සොහොනෙහි හැර දමන ලද, ඇට සුදුවූ, හක් ගෙඩියකට බඳුවූද. ඇට ගොඩ ගැසුණාවූද, ඇට හවුරුදු තුන හතරක් වූද, ඇට කුණුවූ සුනුවූද, ශරීරය බලන්නේද, මේ කයද මෙය නොඉක්මවන ලද්දේයයි, හෙතෙමේ මෙම කයද, එසේ සමකොට බලන්නේය.

’’ස්වාමීනි, මේ අනුස්මෘති කාරණයයි. මෙසේ වඩන ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ (මම) ’’වෙමි’’ යි යන මානය ඉගිළීම පිණිස පවතී.

’’ස්වාමීනි, නැවතද වනාහි භික්‍ෂුතෙම සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි.’’ ස්වාමීනි, මේ අනුස්මෘති කාරණයයි. මෙසේ වඩන ලද්දේ, දියුණු කරණ ලද්දේ, නොයෙක් (ලෝක) ධාතූන් දැනගැනීම පිණිස පවතී. ස්වාමීනි, මේ පස් අනුස්මෘති කාරණයෝය’’.

’’ආනන්‍ද, යහපති. යහපති, එසේනම් ඔබ මේ අනුස්මෘති සයත් දරව. ’’ආනන්‍දය, මේ සස්නෙහි භික්‍ෂුතෙම සිහි ඇත්තේම පෙරට යාද, සිහි ඇත්තේම හැරී යේද,, සිහි ඇත්තේම සිටීද, සිහි ඇත්තේම හොවීද, සිහි ඇත්තේම කටයුතු කරයිද, ආනන්‍ද, මේ අනුස්මෘති කාරණයයි. මෙසේ වඩන ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ, සිහිය හා නුවණ ලැබීම පිණිස පවතී.’’