අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. දේවතා වර්‍ගය

6. විවාද මූලක ධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ විවාදයට මුල් සයක් වෙත්.

’’කිනම් සයක්ද යත් ? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.

’’මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම )සස’ ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයිද හෙතෙම යම් විවාදයක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, අහිත පිණිස, දෙවි මිනිසුන්ට දුක් පිණිස සංඝයා අතරෙහි විවාද උපදවයි.

’’මහණෙනි, තොප විසින් මෙබඳු විවාදයකට මුල් කරුණු ඇතුලත හෝ පිටත දක්නහුද, මහණෙනි, එහිදී තොප විසින් ඒ පවිටු විවාදයට මුල් කරුණු නැතිකිරීම පිණිස වෑයම් කරව්. මහණෙනි, ඉදින් තොප විසින් මෙබඳු විවාදයන්ට මුල්වූ කරුණු ඇතුළත හෝ පිටත හෝ නොදක්නහු නම්, මහණෙනි, තොප විසින් එහිදී ඒ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමක විවාදයට මුල ප්‍රහීණවීම වේ. මෙසේ මේ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස වේ.

’’නැවතද මහණතෙම ගුණමකු වේද, යුග ග්‍රාහයෙන් යුක්තද, ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි.

’’නැවතද මහණතෙම ඊර්‍ෂ්‍යාකරයිද, මසුරුවේද, කෛරාටිකවේද, මායාවෙන් යුක්තද, පවිටු අදහස් ඇත්තේද, අයහපත් දෘෂ්ටි ඇත්තේද, තම අදහසම අල්වා ගත්තේ වේද, දුරු නොකරන්නේද, බැහැරලීමට නොකැමැති වේද, හෙතෙම ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.