අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. ගොතමී වර්‍ගය

10. සමුක්කඨ.ඨපුග්ගල සූත්‍රය

’’මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.

’’කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, යන අට දෙනයි. මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්‍ෂිණාර්‍හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි. පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද, යන අෂ්ටාර්‍ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, මේ සංඝ තෙමේ සත්ත්‍වයන්ට උත්කෘෂ්ටවේ.

(1) ’’පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි සිටි සතර දෙනද යන, ප්‍රඥාවෙන් හා ශීලයෙන් යුත් මේ සඞ්ඝ තෙමේ ඎජුය.

(2) ’’දන් දෙන්නාවූ, පින් කැමැති ප්‍රාණීවූ, කෙළස් විපාක දෙන්නාවූ, කුශල් කරන්නාවූ, මනුෂ්‍යයන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.’’

ගොතමී වර්‍ගය නිමි.