සංයුත්තනිකායො
සගාථ වර්ගය
11. සක්කා (හෙවත් වාසව) සංයුත්තය
3. තුන්වන වග. ( සක්ක පඤ්චකය )
2. දුඛණ්ණීය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ’’මහණෙනි’’ යි භික්ෂූන්ට කථාකළ සේක. ’’ස්වාමීනී’’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක: ) ’’ මහණෙනි, පෙරවූ දෙයක් කියමි. දුවර්‍ණවූ, මිටිවූ, එක්තරා යකෙක් ශක්රදේවේන්ද්රයාගේ අස්නෙහි හුන්නේ විය.
’’මහණෙනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ’බලව, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. මේ දුර්‍වණවූ, මිටිවූ යක්ෂයා ශක්රදේවේන්ද්රයාගේ අස්නෙහි හුන්නේය.’ යි ඔහු තුච්ඡකොට සිතත්. පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, මහණෙනි, තව්තිසාවැසි දෙවියෝ ඔහු යම් පමණ ළාමක කොට සිතත්ද, කියත්ද, ඒ ඒ කැන කතාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක්ෂයා රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි.
’’මහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ ශක්රදේවේන්ද්රයා යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ
ශක්‍ර දේවේන්ද්රයාට මෙසේ කීය: ’ නිදුකාණනි, මෙහි දුර්වර්ණවූ මිටිවූ යකෙක් ඔබවහන්සේගේ අස්නෙහි හුන්නේය. නිදුකාණනි, එකල්හි වනාහි තව්තිසා වැසි දෙවියෝ ’බලව, ඒකාන්තයෙන් පුදුමයෙකි, බලව, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්ණවූ, මිටිවූ මේ යක් තෙම ශක්‍ර දේවේන්ද්රයාගේ අස්නෙහි හුන්නේය’ යි ඒ තුච්ඡකොට සිතත්, පිළිකුල්කොට කියත්, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්, නිදුකාණනි, තව්තිසා වැසි දෙවියෝ ඒ යම් පමණ තුච්ඡකොට සිතත්ද, පිළිකුල්කොට සිතත්ද, ඒ ඒ තැන ඒ ගැන කථාබස් කෙරෙත්ද, එපමණටම ඒ යක් තෙම රූපයෙන් වඩාත් බබළයි, වඩාත් දැකුම්කළු වෙයි, ප්‍රසන්නසේ පෙනෙයි, නිදුකාණනි, ඒ යක්ෂකෙම වනාහි ක්‍රෝධය නිසා යැපෙන්නේ වන්නේය.
’’මහණෙනි, ඉක්බිතිව ශක්‍රදේවේන්‍ද්‍රතෙම ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්ෂයා යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, උතුරුසළුව ඒකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ගසා ඒ ක්‍රෝධය නිසා යැපෙන යක්ෂයා වෙත ඇඳිලි බැඳ නමස්කාරකොට ’නිදුකාණනි, මම ශක්රදේවේන්ද්ර වෙමි. නිදුකාණනි, මම ශක්රදේවේන්ද්ර වෙමි.’ යි තුන්වරක් නම ප්‍රකාශ කෙළේය.
’’මහණෙනි, ශක්‍රදේවේන්‍ද්‍රතෙම යම්තාක් නම ප්‍රකාශකරයිද ඒ තාක්ම ඒ යක්තෙම වඩා දුර්වර්ණද වඩා මිටිද විය. වඩාත් අවලක්‍ෂණද එමෙන්ම වඩාත් මිටිද වී, එහිම අතුරුදහන් වීය.
’’මහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම ස්වකීය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සනසන්නේ ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
’’මම වනාහි නොපෙළුනු සිත් ඇත්තේ වෙමි. ක්‍රෝධ නමැති දිය සුළියෙන් පහසුවෙන් ගෙනයා නොහෙමි. මම බොහෝ වේලාවකින් නොකිපෙමි. ක්‍රෝධය තෙම මා කෙරෙහි නොපිහිටයි. මම (කිපී කලද) රළු බස් නොකියමි. දහම් බස්ද පවසමි. ආත්මාර්‍ත්‍ථය මොනවට දක්නා මම තමහට අතිශයින් නිගාකරමි.’’