සංයුත්තනිකායො
සළායතන වර්ගය
7. චිත්ත සංයුත්තය
1. සංයොජන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි බොහෝ ස්ථවිර භික්ෂූහු අම්බාටක වනයෙහිවූ මච්ජිකාසණ්ඩ නම් වනලැහැබෙහි වාසය කරත්. එකල්හි වනාහි සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව හුන්නාවූ බොහෝ ස්ථවිරභික්‍ෂූන් අතර ‘ඇවැත්නි, සංයොජන සංයොජනීය ධර්ම යන මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද නොහොත් සමාන අර්ථ ඇත්තාහුද, සමාන ව්‍යඤජන ඇත්තාහුද,’ යන මේ කථාව පහළවිය.
එහි ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයොජන නම් වූද, සංයොජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ නානාර්ථ ඇත්තාහුද, නානාව්යඤජන ඇත්තාහුද, වෙත්යයි’ කියන ලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයොජන නම් වූද, සංයොජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ සමාන අර්ථ ඇත්තාහුද, සමාන ව්‍යඤජන ඇත්තාහුද,’ වෙත් යයි කියන ලදී.
එකල්හි වනාහි චිත්ත ගෘහපතිතෙම කිසියම් කටයුත්තක් සඳහා මිගපථක නම් ගමට පැමිණියේය චිත්ත ගෘහපතිතෙම සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්වූ බොහෝ ස්ථවිර භික්ෂූන් අතර ‘ඇවැත්නි සංයොජන නම් වූද, සංයොජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්‍යඤජන ඇත්තාහුද, නොහොත් සමානාර්ථ ඇත්තාහුද, සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද’ යන මේ අතුරු කථාව පහළවීය එහිදී ඇතැම් තෙරුන් විසින් ‘ඇවැත්නි, සංයොජන නම් වූද, සංයොජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්‍යඤජන ඇත්තාහුද වෙත්යයි’ කියනලදී. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි සංයෝජන නම්වූද, සංයොජනීය ධර්ම නම්වූද, යන මේ ධර්මයෝ සමානාර්ථ ඇත්තාහුද, සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද වෙත්යයි කියන ලදැයි’ ඇසූයේය.
ඉක්බිති චිත්ත ගෘහපතිතෙම ස්ථවිර භික්ෂූහු යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ස්ථවිර භික්ෂූන් වැඳ, එක්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගෘහපතිතෙම, ස්ථවිර භික්ෂූන්ට, “ස්වාමීනි, සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ මණ්ඩල මාලයෙහි රැස්ව බොහෝ ස්ථවිර භික්ෂූන් අතර, ‘ඇවැත්නි, සංයොජන නම්වූද සංයොජනීය ධර්ම නම් වූද, ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුද, වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුද, නොහොත් සමානාර්ථ ඇත්තාහුද සමාන ව්‍යඤ්ජන ඇත්තාහුද යන මේ අතුරු කථාවක් පහළවිය. ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයොජන නම්වූද, සංයොජනීය ධර්ම නම්වූද මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්‍යඤජන ඇත්තාහුයයි’ කියන ලදැයි’ද ඇතැම් ස්ථවිර භික්ෂූන් විසින් ‘ඇවැත්නි, සංයොජන නම් වූද සංයොජනීය ධර්ම නම් වූද මේ ධර්මයෝ සමානාර්ථ ඇත්තාහුය. සමාන ව්‍යඤ්ජන ඇත්තාහු යයිද, කියන ලදැයි මා විසින් අසන ලද්දේයයි’ කීය. ‘ගෘහපතිය, එසේයයි” භික්ෂූහු කීහ.
“ස්වාමීනි, සංයොජන නම්වූද, සංයොජනීය ධර්ම නම් වූද, මේ ධර්මයෝ වෙන් වෙන්වූ අර්ථ ඇත්තාහුය. වෙන් වෙන්වූ ව්‍යඤ්ජන ඇත්තාහුය. ස්වාමීනි, එහෙයින් ඔබවහන්සේලාට උපමාවක් දක්වන්නෙමි. උපමාවෙන්ද මේ ලොකයෙහි ඤාණවන්ත පුරුෂයෝ කියන ලද කාරණයාගේ අර්ථය දැනගනිත්. “ස්වාමීනි යම් කළු ගොනෙක්ද සුදු ගොනෙක්ද එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහු වෙත්ද, යමෙක් කළු ගොනා සුදු ගොනාගේ බැම්මය සුදු ගොනා කළු ගොනාගේ බැම්මයයි. මෙසේ කියන්නේනම් ඔහු මනාව කියන්නේද?” “ගෘහපතිය, එය එසේ නොවේ ගෘහපතිය, කළු ගොනා සුදු ගොනාගේ බැම්ම නොවේ. සුදු ගොනා කළු ගොනාගේ බැම්ම නොවේ. ඔව්හු යම් එක දම්වැලකින් හෝ ලණුවකින් හෝ බඳින ලද්දාහුද එය එහි බැම්මයි.”
“ස්වාමීනි. එසේම ඇස රූපයෙහි සංයොජනය නොවේ. රූප ඇසේ සංයොජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයොජනයයි.
“කන ශබ්දයන්ගේ සංයෝජනය නොවේ. ශබ්ද කනේ සංයෝජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයොජනයයි.
“නාසය ගන්ධයන්ගේ සංයොජනය නොවේ. ගන්ධ නාසයේ සංයොජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයොජනයයි.
“දිව රසයන්ගේ සංයොජනය නොවේ. රස දිවෙහි සංයොජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය සංයොජනයයි.
“කය ස්පර්ශයන්ගේ සංයොජන නොවේ. ස්පර්ශ කයේ සංයෝජන නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද එය සංයෝජනයයි.
“සිත ධර්මයන්ගේ සංයෝජනය නොවේ. ධර්මය සිතේ සංයොජනය නොවේ. එහි ඒ දෙක නිසා යම් ඡන්දරාගයක් උපදීද, එය එහි සංයෝජනයයි කීය.
‘ගෘහපතිය, ගැඹුරු බුද්ධ වචනයෙහි තොපගේ ප්‍රඥා චක්ෂුස පැවැත්මෙන් තොපට මහත් ලාභයක් විය. තොප විසින් යහපත් ලාභයක් ලබන ලදැයි’ ඒ භික්ෂූහු කීහ.