සංයුත්තනිකායො
සගාථ වර්ගය
6. බ්‍රහ්ම සංයුත්තය
2. පරිනිර්වාණ වර්ගය
1. සනංකුමාර ( හෙවත් ) බ්‍රහ්මාසනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සප්පිනී ( නදී ) තෙර වසනසේක.
ඉක්බිති සනංකුමාර බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉක්මුණු කල්හි සියලු සප්පිනී ( නදී ) තීරය තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියේය.
එක් පසෙක සිටි සනංකුමාර බ්‍රහ්මයා වනාහි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
’’ මිනිසුන් අතුරෙහි යම් ජනකෙනෙක් වංශය ගැන සලකන්නහුද, ( ඔවුනතුරෙන් ) ක්ෂත්රියතෙම ශ්‍රේෂඨයි. ( යම් කිසිවෙක් ) ත්‍රිවිද්‍යාවෙන් හා ( පසළොස් ) චරණ ධර්මයන්ගෙන් යුක්තවේ නම් ඒ තෙම දිව්‍ය මනුෂ්‍යයන් අතුරෙන් ශ්‍රේෂ්ඨයි.’’
සනංකුමාර බ්‍රහ්මයා මෙය කීය. ශාස්තෲන් වහන්සේ එකඟවූසේක. ඉක්බිතිව සනංකුමාර බ්‍රහ්මයා ’’ශාස්තෲන් වහන්සේ මා හා එකඟවූ සේකැ’’ යි ( සිතා ) භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්රදක්ෂිණාකොට එහිම අතුරුදහන්විය.