සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
1. විවේක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්ෂුවක් කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල වනාහි ඒ භික්ෂුව දහවල් විවේකයට ගියේ ලාමකවූ පාප චේතනාවන් සිතයි.
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් යම් දේවතාවෙක් වූයේද, ඒ භික්ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, ඔහුට වැඩ කැමැත්තේ, ඒ භික්ෂුව උනන්දු කරනු කැමැත්තේ, ඒ භික්ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’( ත්‍රිවිධ ) විවේකය පතමින් ඔබ මේ වනයට පිවිසියෙහිය. එහෙත් ඔබගේ සිත බාහිරවූ අරමුණු කෙරෙහි හැසිරෙයි. ජනයකුවූ ඔබ ( අන්‍ය ) ජනයා කෙරෙහි ( ඇති ) ඡන්ද රාගය නසව. ඉන්පසු පහවූ රාග ඇත්තෙක්ව සුවෙන් කල් යවව.
’’( කර්මස්ථාන භාවනා පිරීමෙහි ) නොකැමැත්ත බැහැර කරව. සිහි ඇති වෙව. සිහි ඇතිව විසීම සත්පුරුෂයන්ගේ ධර්මයයි. කෙලෙස් ධූවිලි සහිත ආශාව තරණයට දුෂ්කරය. මේ කාමරාගය තා අපායට නොහෙළාවා.
’’පස් තැවැරුණු පක්ෂියෙක් ( පියාපත් ) සොලොවමින් ශරීරයෙහි ඇලුනු දූවිලි යම්සේ ඉවත හෙළාද, එසේම කෙලෙසුන් තැවීමේ වීර්ය්යඇති සිහි ඇති මහණතෙම ඇලුනු ( කෙලෙස් ) ධූලි ඉවත හෙළයි.’’
ඉක්බිති ඒ භික්ෂුතෙම ඒ දේවතාවා විසින් උනන්දු භාවයට පමුණුවනු ලදුයේ උනන්දුභාවයට පැමිණියේය