ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

1. බුද්ධ වග්ගය

1. බුද්ධාපදානය

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස

වේදේහි පුත්‍ර ආනන්‍ද ස්ථවිර තෙම දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නාවූ බුදුරජානන් වහන්සේගෙන් ’’වීරයන් වහන්ස, කිනම් හේතුවකින් සර්‍වඥ බුදුවරයෝ වෙත්දැයි’’ නමස්කාර පෙරටුව විචාළ සේක.

එකල්හි මහාර්ෂිවූ සර්‍වඥ බුදුරජාණන් වහන්සේ, සුන්දරවූ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, ’’පෙර බුදුවරයන් විෂයෙහි කරණ ලද පුණ්‍ය සම්භාර ඇති, සර්‍වඥ ශාසන විෂයෙහි නොලබන ලද මොක්‍ෂය ඇති, අති සියුම් නුවණින් යුත්, එම ප්‍රාඥයෝ එකී සම්‍යක් සම්බෝධියම අරමුණුකොට මහත්වූ ධෛර්‍ය්‍යයෙන් කළ පැතුමින්ද, වඩන ලද ප්‍රඥාවෙහි බලයෙන්ද, සර්‍වඥභාවයට පැමිණෙත්යයි’’ මධුර ස්වරයෙන් වදාළ සේක.

’’අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති. මමද එකී පෙර බුදුවරයන් ඉදිරියෙහි සිතින්ම (එම උතුමන්) මෙන් වී බුදුබව පැතීමි.

’’තවද, බුද්ධාපදානයන් පිරිසිදු සිතින් යුතුව අසව්. සමතිස් පෙරුම් පිරූ අසංඛ්‍ය ගණන් බුදුවරයෝ වෙති.

’’ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්‍වඥතාඥානයටද, ශ්‍රාවක සඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලාටද, දොහොත් එක්කොට නැවතත් හිස නමා වැඳීම කෙළෙමි.

’’ඇතිතාක් බුද්ධ ක්‍ෂෙත්‍රයන්හි අහසෙහිවූද, පොළොවෙහිවූද, අනන්තවූ රත්නයන් සිතින් (ඉටා) (මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.

’’එහි රිදියෙන් කරණ ලද්දාවූද, සත් රුවනින් කරණ ලද්දාවූද, නොයෙක් මහල් (තට්ටු) ඇති අහසට උසද්ව නැගී බබලන ප්‍රාසාදයක් මැවීමි.

’’එම ප්‍රාසාදය දිගුපුළුලට සරිලන සේ මැනවින් කළ බෙදුම් ඇති, වටිනා තොරණවලින් හා (සුදු) කුඩවලින් බබළන රුවනින් මුවා දැව වළලු ඇති විසිතුරු කණුවලින් යුක්තවිය.

’’එහි පළමුවෙනි මාලය (තට්ටුව) පිරිසිදු වළාකුලක් සේ මනොඥ වෙරළු මිණියෙන් කරණ ලද පොළොව ඇත්තේ විය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් ස්වර්‍ණමය භූමීන්ගෙන්ද යුක්ත විය.

’’ඇතැම් භූමීහු මනහර ලෙස පබළුයෙන් කළ පැති ඇති පබළුවන් වූවාහුද, අනිකක් රත් පැහැ ඇත්තාහුද, තවකෙක් රතිදු ගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුක්ත වූවාහුද, දසදිගුන් බබුළුවති.

’’මැනවින් ගෘහද්වාරද, පිටතට නෙරාගිය ප්‍රමුඛ ශාලාවන් (ගෙවල් ඉදිරියේ බැඳි ශාලා) ද සීමැදුරුද, මනහර මුතුලැල්වලින් හා සුවඳදමින් ගැවසීගත් වේදිකා සතරක්ද (එහි) විය.

’’(එම ප්‍රාසාදය) සත් රුවනින් ශෝභාවත් කළ නිල්, කහ, රතු, සුදු හා අමිශ්‍ර කාල වර්‍ණයද ඇති උතුම් කුළු ගෙවලින්ද සමන්විත විය.

’’උඩුකුරුව පිපුණු (අයුරින් කළ) පියුමින්ද, විශාල මෘගයන්ගේ හා පක්‍ෂීන්ගේ රූ සටහන්වලින්ද බබළන (ඉතා උස් බැවින් පිළිබිඹුවූ) නැකැත් තරුවලින් ගවසීගත් චන්‍ද්‍ර සූර්‍ය්‍යයන්ගෙන්ද අලංකාර විය.

’’රන් කිකිණියෙන් යුත්, රුවන් දැලින් ගැවසුනු මනහර රන් මල් දම්හු වායු වේගයෙන් ශබ්ද පවත්වති.

’’මදටිය රතු, කහ, දඹරන් යන නන් වැදෑරුම් සායමින් පොවන ලද ඔසවන ලද්දාවූ ධජ මාලාවෝ වෙති.

’’එහි රිදියෙන් කළ පුවරුද, (නිල්) මිණියෙන්, දෑරඟ මිණියෙන් හා කබරවන් මිණි ආදියෙන් කළ පුවරු ඇති, සියුම් කසී සළු අතුල, නා නා සයනයන්ගෙන් විසිතුරු විය.

’’කම්බිලිද, දුහුල් පටද, චීන පටද, පත්තුණ්ණ දේශයෙහි කළ පටද, පඬුවන් පටද යන මෙයින් කළ ප්‍රාවරණයන්ගෙන් විවිධ ඇතිරි ඇති සියලු (අසුන්) මම සිතින් (ඉටා) පැනවීමි.

’’ඒ ඒ භූමීන්හි රත්නමය කර්ණිකාවන්ගෙන් ශෝභාවත් රන්මිණියෙන් කළ දඬුවැට පහන් දරණ (නොයෙක්) සිය ගණන් ජනයෝ සිටිති.

’’(එහි) නුවර දොර හොබවනු වස් සිටවූ යකඩ කණුද, ස්වර්‍ණමයවූ ජාම්බෝජනද, ස්වර්‍ණමයවූ (කිහිරි) ඛදිරදාරුමවූ (රිදී) රජතමයවූ තොරන්හුද බබළති.

’’(එම) පහය මැනවින් බෙදූ බොහෝ ජනෙල් හා අගුළුවලින් විසිතුරු විය. නොයෙක් පියුම් උපුල්වලින් යුත් පෙදෙස තැබූ පූර්‍ණ ඝටයෝද එහි වෙති.

’’අතීතයෙහිවූ ශ්‍රාවක සංඝයා සහිත ලෝකනායක සම්‍යක් සම්බුදුවරයන්ද, එසේම ශ්‍රාවක සමූහය සහිත පසේ බුදුවරයන්ද පියවි සටහනින් මවා,

’’ශ්‍රාවකයන් සහිත එම බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්‍ය්‍ය සමූහව ස්වර්‍ණමය පීඨයෙහි වැඩහුන්හ.

’’මෙකල ලෝකයෙහි අනුත්තරවූ යම් බුදු කෙනෙක් වෙත්ද, එසේම අතීතයෙහි වූවාහුද, ඒ සියලු බුදුවරයෝම මේ ප්‍රාසාදයට වැඩමවූහ.

’’තමන් විසින්ම, ගුරූපදේශ විරහිතව ධර්‍මය අවබෝධ කරගත්, පස් මරුන් දිනූ, අතීතයෙහි හා වර්තමානයෙහි වූ නොයෙක් සිය ගණන් පසේ බුදුවරුද, මේ පහයට වැඩම කළහ.

’’දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, කප්රුක් බොහෝ වෙති. (ඒවායින්) සියලු වස්ත්‍ර ගෙනවුත් තුන් සිවුරින් (උන්වහන්සේලා) (හඳවමි.)

’’කෑයුතුවූද, බුදියයුතුවූද, රස විඳ ගත යුතුවූද, සමෘද්‍ධවූ, ආහාරපානයෙන් මනොඥවූ, මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දුනිමි.

’’ඒ දිව්‍ය වස්ත්‍ර වැනි මටසිලුටු සිවුරු දැරුවාවූ, මීසකුරු තලතෙල් හා මීපැණියෙන්ද යන (මෙකී) උතුම් ආහාර පානයන්ගෙන් තෘප්තවූ, ඒ සියලු ආර්‍ය්‍ය සමූහයා ගුහාවන්හි සයනය කරණ කේශර සිංහයන් මෙන් රත්න ගෘහයට පිවිස,

’’මාහැඟි සයනයෙහි සිහියෙන් යුතුව සීහ සෙය්‍යාවෙන් සැතපුනාහ. ඉන් නැගිට සයනයෙහිම පලක් බැඳ, වැඩහිඳ, සියලු බුදුවරයන්ට අරමුණුවූ ධ්‍යානයට සමවන්හ.

’’එසේ බුදුවරයන් අතුරෙන් ඇතමෙන් දහම් දෙසත්. කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඎද්ධීන් දක්වත්. අයෙක් පඤ්ච වසීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවන්ට සමවදිති. අනෙක ශතසහශ්‍ර සංඛ්‍යාත නොයෙක් ඎද්ධි කරත්.

’’ඒ පසේ බුදුවරු සර්‍වඥතාඥානයට ගෝචරවූ ප්‍රශ්න අනික් බුදුවරුන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ගැඹුරුවූද කරුණු ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.

’’ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත්. ඔවුනොවුහු විචාරත්. ඔවුනොවුන්ට පිළිතුරුද දෙත්.

’’සම්‍යක් සම්බුදුවරුද, පසේබුදුවරුද, ශ්‍රාවකයෝද, පිරිවර ජනයාද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි එම වෛජයන්ත ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.

’’රන් දැල් පේලි ඇති, සප්ත රත්නමය ඡත්‍ර එල්බ සිටිත්වා. මුතු දැලින් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වායි සිතූ කෙණෙහි එසේ පහළවිය.

’’රුවන් තරුයෙන් විසිතුරු රෙදි වියන්ද, එසේම විසිතුරු මල් වියන්ද යන මේ සියල්ල මාගේ මුදුනෙහි දරත්වා!

’’මාලාදාමයන්ගෙන් ගැවසී ගත් සුගන්‍ධ දාමයන්ගෙන් ශෝභිතවූ රෙද්දෙන් කළ මාලාවන්ගෙන් ආකූලවූ රත්න මාලාවන්ගෙන් අලංකෘත,

’’විසිතුරු මල්වලින් ගැවසීගත් සුවඳ දුම් ගැන්වූ සුවඳ පසඟුල් කළ රන් වියනින් වැසූ,

’’පියුම් උපුල්වලින් ගැවසීගත් සිව් දිගෙහිවූ පොකුණු පියුම් රොණින් හා රජසින් ස්වර්‍ණ වර්‍ණව වැටහෙත්වා.

’’මාගේ (චෛජයන්ත) ප්‍රාසාදය සියළු ගස්වල මල් පිබිදෙත්වා. ඒ මල් තෙමේම ගිලිහී පහය මතුයෙහි විසිරෙත්වා.

’’එහි මොණරු නටත්වා, දිව්‍ය හංසයෝ ශබ්ද කරත්වා, කුරවි කෙවිල්ලෝද හාත්පස වෙසෙන සෙසු පක්‍ෂි සමූහයාද නාද කෙරෙත්වා.

’’පහය හාත්පස සියළු බෙර වැයෙත්වා. සියලු වීණා ගැයෙත්වා. හැම සංගීතයක්ම පවතිත්වා. 43 -

’’සියලු බුද්ධ ක්‍ෂෙත්‍රයෙහිද ඉන් පිටත් සක්වලෙහිද මහත්වූ පළුදු නොවූ ප්‍රභාවත් රන්වන් වර්‍ණයෝ වෙත්වා. ප්‍රදීප වෘක්‍ෂයෝ දැල්වෙත්වා. දස සහශ්‍රී ලෝක ධාතූන්ගේ සමූහයම ඒකාලෝක වෙත්වා.

’’නිලියෝද, මුවින් ශබ්ද පවත්වන්නෝද, නෘත්‍ය කෙරෙත්වා. නොයෙක් වර්‍ණවත් දිව්‍යප්සරා සමූහයා ප්‍රකටව පෙණෙත්වා.

’’ගස් මුදුනෙහිද, පර්වත මුදුනෙහිද, සිනෙරු පර්වත මුදුනෙහිද, පඤ්ච වර්‍ණයෙන් විසිතුරුවූ සියලු ධජ ඔසවමි.

’’(දිව්‍ය මනුෂ්‍යාදී) සංසිඳි සත්ත්‍වයෝද, (අසඤ්ඤසත්තයෙහිවූ) අසංඥි සත්ත්‍වයෝද යම්තාක් වෙත් නම් ඒ සියල්ලෝ මා විසින් කරණ ලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා.

’’මා විසින් කරණ ලද පින යම් දිව්‍ය මනුෂ්‍ය නාගාදී කෙනෙකුන් විසින් මැනවින් දැනගන්නා ලදද, ඔවුන්ට මා විසින් පිණ දෙන ලදී. මා විසින් ඒ කරණ ලද පින දුන් බව යම් කෙනෙක් නොදනිත් නම් දෙවිවරු ගොස් ඔවුන්ට එය දැන්වූහ.

’’ආහාර හේතුවෙන් ජීවත්වන සියලුම ලෝකවාසී සත්ත්‍වයෝ මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා.

’’පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙන ලද නම්, එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියළු සම්බුදුවරයෝද, පසේබුදුවරයෝද, බුදු සව්වෝද මා විසින් පුදන ලදහ.

’’මැනවින් කළ ඒ පිනින්ද, ප්‍රාර්ත්‍ථනාවන්ගෙන්ද මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව් ලොවට ගියෙමි.

’’දෙව් මිනිස් දෙගතිය දනිමි. ඉන් පිටත් අනික් ගතියක් ගැන නොදනිමි. (එය) සිතින් කළ පැතුමෙහි ඵලයයි.

’’(දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රේෂ්ඨ වෙයි. (ඉදින් මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨවූ රජ වෙමි. රූප ලක්‍ෂණයෙන් සමන්විතවූයේ, අසමවූ ප්‍රඥාව ඇත්තේද වෙයි.

’’ශ්‍රෙෂ්ඨවූ නානා ප්‍රකාර භෝජනද, බොහෝවූ සත් රුවන්ද, නානා ප්‍රකාර පට්ට කොසෙය්‍යාදී වස්ත්‍රද, මා වෙතට අහසින් වහා පැමිණෙයි.

’’පෘථිවිය, පර්වතය, ආකාශය, ජලය, වනය යන මේ යම් යම් තැනකට අත පොවම් නම් (ඒ හැම තැනකින්ම) මා වෙත දිව බොජුන් පහල වේ.

’’එසේ ඒ පෘථිව්‍යාදී අත පෙවූ හැම තැනකින්ම රුවන්ද, සියලු සුගන්ධ වර්‍ගද, යානා මාල අලංකාරයන්ද, සියලු කන්‍යාවන් හා මි සකුරුද, කෑමද මා වෙත පහළ වෙති.

’’ශ්‍රේෂ්ඨවූ සම්‍යක් සම්බෝධියට පැමිණීම පිණිස දුගී, මගී, යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.

’’ඝන බහල ශෛල පර්වත ගර්ජනය කරවමින්, දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින්, මම ලෙව්හි බුදුවෙමි.

’’ලෙව්හි දස දිගට යන්නහුට කෙළවරක් නැත ඒ දිශාවෙහිද බුද්ධ ක්‍ෂෙත්‍රයෝ අනන්ත වෙති.

’’ඒ සක්විති රජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලෝකය රැස් විහිදුවමින් ප්‍රකට විය. මේ දස දහසක් සක්වල අතුරෙහි රැස් සමූහය අධික විය.

’’මෙපමණවූ ලෝක ධාතූන්හි සියලුදෙනා මා දකිත්වා. සියලු දෙනා සතුටුවෙත්වා. එසේම සියලු දෙන මා අනුගමනය කෙරෙති. බඹලොව දක්වාවූ හැද දෙනම මා අනුගමනය කෙරෙත්වා.

’’විශිෂ්ඨවූ මධුර නාදයෙන් දෙව් බෙර ගැසීමි. මේ දස දහසක් සක්වල ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා.

’’දහම් වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්‍රව රහිතයෝ (රහත්හු) වෙත්වා! මේ ජනයා අතරෙහි යමෙක් පච්ඡිමක (අඩු) ගුණ ඇත්තෝ වෙත් නම් ඔවහු සෝවාන් වෙත්වා.

’’දන්දී නිරවශෙෂයෙන් සිල් පුරා ගෘහාභිනිෂ්ක්‍රමණය කොට සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.

’’නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යකොට ක්‍ෂාන්ති පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.

’’ශ්‍රෙෂ්ඨ අධිෂ්ඨානය කොට, සත්‍ය පාරමිතාව හා මෛත්‍රී පාරමිතාව පුරා, සම්‍යක් සම්බා්ධියට පැමිණියෙමි.

’’ලාභය, අලාභය, සැපය, දුකය, සම්මානය, අවමානය යන මේ සියලු තන්හි සමසේ උපෙක්‍ෂා පාරමිතාව පුරා බුදු බවට පැමිණියෙමි.

’’කුසීත බව භය වශයෙන්ද, වීර්‍ය්‍යය ක්‍ෂෙම (ආරක්‍ෂා ස්ථානය) වශයෙන්ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වව්. මෙය බුද්‍ධානුශාසනයයි.

’’විවාදය භය වශයෙන්ද, අවිවාදය ක්‍ෂෙම වශයෙන්ද දැක සමගිව, සිලිටි මෘදු ගුණ ඇත්තෝ වව්. මෙය බුද්ධානුශාසනයයි.

’’ප්‍රමාදය භය වශයෙන්ද, ක්‍ෂෙම වශයෙන්ද දැක ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය වඩව්. මෙය බුද්ධානුශාසනයයි.

’’නොයෙක් සිය දහස් ගණන් පසේ බුදුවරුද, රහත්හුද රැස්වූහ. ඒ බුදුවරයන්ද, රහතුන්ද, වඳිමින් නමස්කාර කරව්.

’’මෙසේ බුදුවරයෝ චිත්තවිෂයාතික්‍රාන්තයහ. බුද්ධ දේශිත ධර්‍මය චිත්තවිෂයාතික්‍රාන්තයහ. චිත්තවිෂයාතික්‍රාන්තවූ බුදුන් කෙරෙහි හා ධර්‍මය කෙරෙහි පැහැදුනවුන්ට ලැබෙන විපාකයද චිත්තවිෂයාතික්‍රාන්ත වේ. හෙවත් සිතා අවසන් කළ නොහැකිවේ.’’

මෙසේ බුදුරජානන් වහන්සේ ගේ බුද්‍ධ චරිතය පවසන සේක් බුද්‍ධාපදානය නම්වූ ධර්ම පරියාය වදාළ සේක.

බුද්‍ධාපදානය නිමි.