ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

52. කුරඤ්ඡිය වග්ග

9. සබ්බ ඵලදායක ථෙරාපදානය

’’එකල්හි (මම) මන්ත්‍රයන්හි කෙළ පැමිණි, නම්න් වරුණ නම්වූ බ්‍රාහ්මණයෙක් වීමි. පුත්‍රයන් දසදෙනෙකු හැර දමා වනයට පිවිසියෙමි.

’’මම මනොඥ ලෙස කොටස් කරන ලද අසපුවක් සාදා පන්සැලක්ද කොට වනයෙහි වසමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ ඒ පදුමුත්තර බුදුරජතෙමේ මා සසරින් ගොඩලනු කැමැත්තේ මාගේ අසපුවට පැමිණි සේක.

’’වන ලැහැබෙහි ආලෝකය යම්තාක් මහත්වීද, එකල්හි බුදුරජුන්ගේ ආනුභාවයෙන් වනය ඇවිල ගත්තාක් මෙන් විය.

’’මම තාදී ගුණ ඇති බුද්‍ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ඒ පෙළහර දැක කොළ ගොටුවක් ඵලයෙන් පිරවීමි.

’’මම බුදුරජුන් වෙත එළඹ, කද සහිතවම දුනිමි. බුදුරජතෙම මට අනුකම්පාවෙන් මේ වචනය වදාළ සේක.

’’ඔබ (පළතුරු) කත් බර රැගෙන මාගේ පසු පසින් එව. සංඝයා එය වැළඳු කල්හි තොපට පින් (සිදු) වන්නේය’’ කියායි.

’’මම එම (පළතුරු) ගොටුව ගෙන භික්‍ෂු සංඝයාට දුනිමි. මම එහි සිත පහදවා තුෂිත දෙව්ලොවෙහි උපනිමි.

’’එම දිව්‍ය ලෝකයෙහි දිව්‍යමයවූ නෘත්‍යයන් කරණකොටගෙනද, ගීතයන් කරණකොටගෙනද, වාදිතයන් කරණකොටගෙනද (එකී) කුශල කර්‍ම හා සංයුක්තවූ සුවය හැමකල්හි විඳිමි.

’’දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද යම් යෝනියක උපදිම් නම් මාගේ භෝගයෝ අඩු බවක් නැත. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මම බුදුරජුන්හට (මේ) ඵල (දානය) දී, සමුදුරු සහිතවූ සිව් මහ දිවයින් යම් පමණ නම් (එපමණ) තන්හි මාගේ ආධිපත්‍යය කරමි.

’’මේ පක්‍ෂි සමූහයා අහසෙහි යම් පමණ දුර (උඩ) පියාඹත්ද, (එපමණ තන්හි අහසෙහිද) ඔවුහු (මාගේ) වසඟයට පැමිණෙත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’වන සණ්ඩයෙහි (කැලෑ රොදෙහි) යම්තාක් යක්‍ෂයෝද, භූතයෝද, රාක්‍ෂසයෝද, කුම්භාණ්ඩයෝද, ගුරුලෝද වෙත් නම් ඔවුහු මාගේ පරිචරියාවට (මෙහෙවරට) පැමිණෙත්.

’’ඉදිබුවෝද, බල්ලෝද, මීමැස්සෝද, ඩැහැලේ බොන මැස්සන් හා මදුරුවෝද යන උභය ප්‍රාණීහුදැයි ඔවුහු මා වසඟයට පැමිණෙත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’පක්‍ෂි යෝනියෙහි උපන්, මහත් බල ඇති සුපර්‍ණ නම්වූ ගුරුළු පක්‍ෂීහු වෙත් නම් ඔවුහුද මා සරණකොට යෙත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’දීර්‍ඝායුෂ්කවූ, ඎද්‍ධිමත්වූ, මහත් යසස් ඇති යම් නාග කෙනෙක් වෙත් නම් ඔවුහුද මාගේ වසඟයට එත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’සිංහයෝද, ව්‍යාඝ්‍රයෝද, දිවියෝද, වලස්සුද, වෘකයෝද, කරබානා වලස්සුද යන මොවුහු මාගේ වසඟයට එත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’ඔසධී-තාණ (වෘක්‍ෂාදියෙහි) වාසය කරන්නාවූද, අහසෙහි වාසය කරන්නාවූද යම් (දෙවි කෙනෙක්) වෙත් නම් ඒ සියල්ලෝ මා සරණකොට යෙත්. ඵල දානයාගේ මේ විපාකයයි.

’’අතිශයින් දැකුමට (අවබෝධයට) දුෂ්කරවූ ඉතා සියුම්වූ, ගැඹුරුවූ ධර්‍මයෙකැයි පවසන ලද (නිවණ) අවබෝධ කොට වෙසෙමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මම අෂ්ට විමොක්‍ෂයන්ද ලබා, ආශ්‍රව රහිතවූයේ, ප්‍රඥා ඇත්තේ වෙසෙමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මහත් යශස් ඇති, ක්‍ෂය කරන ලද දොස් ඇති, ඵලස්ථවූ යම් බුද්‍ධ පුත්‍ර කෙනෙක් වෙත් නම් ඔවුනතුරෙන් මමද එක්තරා කෙනෙක් වෙමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ, අභිඥාවන්හි කෙළ පැමිණ, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ත්‍රිවිද්‍යා ඇත්තාවූද, ඎද්‍ධි ප්‍රාප්තවූද, මහත් යසස් ඇත්තාවූද, දිව කණ ලද්දාවූද යම් බුද්‍ධ පුත්‍ර කෙනෙක් වෙත් නම් මමද ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙමි.

’’මින් සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සබ්බඵලදායකත්ථෙරස්සාපදානං නවමං.