ඛුද්දකනිකායෙ

ථෙරී අපදාන පාළිය

3. කුණ්ඩල කෙසී වග්ග

4. සකුලාපදානය

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි පස්මරුන් දිනූ, සියළු දහම්හි පරතෙරට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය.

’’දෙවියන් සහිත ලෝකයෙහි සව්සත්නට වැඩ පිණිසද පිළිපන්නාවූ, කථා කරන්නවුන් අතුරෙන් උතුම්වූ, පුරුෂ ශ්‍රේෂ්ඨවූ,

’’යසසින් අගතැන් පත්වූ, ශ්‍රීමත්වූ, කීර්තිවර්‍ණයන් උසුලන්නාවූ, සියළු ලෝවැස්සන් විසින් පුදන ලද්දීවූ, සව් දිගුන්හි ප්‍රකටවූ, කෙළෙස් සතුරන් දිනූ,

’’තරණය කළ විචිකිච්ඡා ඇති, ඉක්මවූ සැක ඇති, සම්පූර්‍ණවූ මනො සඞ්කල්ප ඇති හෙතෙම උතුම්වු සම්‍යක් සම්බෝධියට පැමිණි සේක.

’’නොඋපන් මග උපදවන්නාවූ තථාගත තෙම නොදෙසන ලද්දක් දෙසූහ. නොඋපදවන ලද්දක් ඉපදවූහ.

’’මාර්‍ගය ගැන අවබෝධය ඇති, මාර්‍ගය දන්නාවූ, මාර්‍ගය දේශනා කරන්නාවූ නර ශ්‍රේෂ්ඨ තෙමේ, මාර්‍ගයෙහි දක්‍ෂවූ, නරදම් සැරීන් අතුරෙන් උතුම්වූ, ශාස්තෘවූ,

’’මාර්‍ග දේශකවූ මහා කාරුණික තෙමේ එකල්හි දහම් දෙසති. කාම මඩෙහි ගිලුනු සත්ත්‍වයන් (ඉන්) ගොඩදමති.

’’එකල්හි මම හංසවතී නගරයෙහි මනා රූ ඇත්තාවූ, ධනවත්වූ, දයාවත්වූ, ශ්‍රීමත්වූ රජදුවක් වූවා,

’’ආනන්‍ද මහරජුගේ අතිශය ශෝභනවූ දුවණියද, පදුමුත්තර නමැත්තහුගේ (පදුමුත්තර බුදුරජුගේ) වෙන මව් දරු සොහොයුරියද වීමි.

’’මම සව් බරණින් සැරසුනී, රාජ කන්‍යාවන්ගෙන් යුක්තවූවා, මහා වීර බුදුරජුන් වෙත එළඹ දහම් දෙසුම් ඇසීමි.

’’එකල්හි එම තථාගත තෙම පිරිස් මැදදී දිවැස් ඇති භික්‍ෂුණියකට පසසමින් ඇය අග්‍රස්ථානයෙහි තැබූහ.

’’මම එය අසා සතුටුවූවා, බුදුරජුන්හට දනක් දී, සම්බුදුරජුන් පුදා, දිවැස පැතීමි.

’’එකල්හි ශාස්තෘතෙමේ මට (මෙසේ) වදාළ සේක. ’’නන්දාවෙනි, පතන ලද්ද ලබන්නෙහිය. ප්‍රදීප-ධර්‍ම දානයන්ගේ මේ විපාකය මැනවින්ම නිශ්චිතය.

’’මින් මතු සියක්දහස්වන කපෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ නම්න් ගෞතම නම්වූ ශාස්තෘතෙමේ ලොව පහළවන්නේය.

’’උන්වහන්සේගේ දහම්හි දායාදීවූ, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනිවූ, ඖරස (බුද්‍ධ) පුත්‍රීවූ, නම්න් සකුලා නම්වූ ශාස්තෘ ශ්‍රාවිකාවක් වන්නෙහිය.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’කථා කරන්නවුන් අතරින් ශ්‍රේෂ්ඨවූ, බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, නම්න් කාශ්‍යප නම්වූ බුදුරජතෙම ලොව පහළවිය.

එකල්හි මම හුදකලාව හැසිරෙන්නාවූ පිරිවැජි ස්ත්‍රියක් වීමි. පිඬු පිණිස හැසිර තෙල් ටිකක් ලැබීමි.

’’එම තෙලින් පහනක් දල්වා හැමතින් අහුරුණු බුදුරජාණන් වහන්සේගේ සෑයට පැහැදි සිතින් උවටැන් කෙළෙමි.

’’මැනවින් කරන ලද එම කර්‍මය කරණ කොට ගෙනද, චිත්තප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියා (වෙමි.)

’’එම කර්‍මයාගේ බලයෙන් යම්-යම් තැනක උපදිම්ද, ඒ ඒ තන්හි (උත්පත්ති වශයෙන්) ගිය මට මහත්වූ ප්‍රදීපයෝ දැල්වෙත්.

’’බිත්තියෙන් පිටතද, ගල්පව්වෙන් පිටතද, පර්‍වතය (වුව) විනිවිදගෙන මම යමක් කැමැත්තෙම් නම් එය දකිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.

’’මම පිරිසිදු ඇස් ඇත්තී වෙමි. යසසින්ද දිලිසෙමි. ශ්‍රද්‍ධාවද, ප්‍රඥාවද ඇත්තී වෙමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.

’’මම දැන් අන්තිම භවයෙහි සමෘද්‍ධවූ ධන ධාන්‍ය ඇති, ප්‍රමුදිතවූ, රජුන් විසින් පුදන ලද්දාවූ, බමුණු කුලයෙහි උපන්නී,

’’මම සියළු අඟ පසඟින් සම්පූර්‍ණවූවා, සර්‍වාභරණයෙන් අලඞ්කාරවූවා වීමි. නගරයට වැඩමවන කල්හි වා කවුළුව ලඟ සිටිය දෙව් මිනිසුන් විසින් සත්කාර කරන ලද, යසසින් බබලන, (අසූවක්) අනුව්‍යඤ්ජනයන්ගෙන් යුත්, (දෙතිස් මහපුරිස්) ලකුණින් සැරසුනු බුදුරජුන් දැක,

’’ඔදවැඩි සිත් ඇත්තී, සොම්නස්වූවා පැවිද්ද රුචි කෙළෙමි. නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි.

’’බුදුසසුන කරන්නීවූ (මම) ඎද්‍ධීන්හිද, දිව්‍ය ශ්‍රොත ධාතු ඥානයෙහිද වශී වෙමි. පරසිත් දනිමි.

’’පෙර විසූ කඳ පිළිවෙළ දනිමි. දිවැස පිරිසිදු කරන ලදි. සියළු ආශ්‍රවයන් ක්‍ෂය කොට අති නිර්‍මල වූවා, පිරිසිදුවූවාද වෙමි.

’’මා විසින් ශාස්තෘ තෙමේ ඇසුරු කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී. මහත්වූ බර බහා තබන ලදී. භව තෘෂ්ණාව නසන ලදී.

’’යමක් පිණිස ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවූවාද, මා විසින් සියළු සංයෝජනයන් ක්‍ෂය කිරීම නම්වූ පැමිණෙන ලද එම අර්ත්‍ථය ඇත්තේද වෙමි.

’’ඉක්බිතිව මහා කාරුණිකවූ බුදුරජතෙම, ’’සකුලා තොමෝ දිවැස් ඇති භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රය’’ යි මා එතදග්‍රස්ථානයෙහි තැබූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’

මෙහි මේ අයුරින් ධම්මදින්නා භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

සකුලාථෙරියාපදානං චතුත්ථං.