ඛුද්දකනිකායෙ
ථෙරී අපදාන පාළිය
3. කුණ්ඩල කෙසී වග්ග
7. භද්දා කාපිලානි අපදානය
’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි කෙළෙස් සතුරන් දිනූ, සියළු දහම්හි විනිවිද (දක්නාසුළු) නුවණැස් ඇති පදුමුත්තර බුදුරජතෙම ලොව පහළ විය.
’’එකල්හි හංසවතී නගරයෙහි, සමෘද්‍ධවූ රත්නයන් ඇති, නම්න් ’’විදෙහ’’ නම්වූ සිටුවරයෙක් විය. මම ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
’’කිසියම් දිනෙක්හි ඒ සිටුතෙමේ පිරිවර ජනයා සහිත බුදුරජුන් වෙත එළඹ සියළු දුක් හා බිය දුරුකරන්නාවූ තථාගතයන් වහන්සේගේ ධර්‍මය ඇසීය.
’’ලෝකනායකතෙමේ ශ්‍රාවකයෙකු ධුතවාදීන් අතුරෙන් අග්‍රයයි පැසසූහ. (එය) අසා තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට සතියක් මුළුල්ලෙහි දන් දී,
’’(සිටුතෙමේද) හිසින් පා මුල වැටී එම තනතුර පැතීය. එම බුදුරජතෙමේ එකල්හි පිරිස සතුටු කරමින්,
’’සිටුහට අනුකම්පා පිණිස මෙම ගාථාවන් වදාළ සේක. ’’පුතණුවෙනි, සැනසෙනු මැනව. පතන ලද තනතුර ලබන්නෙහිය.
’’මින්මතු සියක් දහස්වන කපෙහි, ඔක්කාක වංශයෙහි උපදින්නාවූ, නම්න් ගෞතම නම්වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදීවූ, ධර්‍මයෙහි නිර්මිත කරන ලද්දාක් වැනිවූ, ඖරස (බුද්ධ) පුත්‍රවූ, නම්න් කාශ්‍යප නම්වූ බුද්‍ධශ්‍රාවකයෙක් වන්නෙහිය.
’’එකල්හි එය අසා ප්‍රමුදිතව විනායකවූ බුදුරජාණන් වහන්සේට මෙත් සිත් ඇත්තේ (සිව්) පසයෙන් උවැටැන් කෙළේය.
’’එම බුදුරජතෙමේ මිසදිටු තිර්ත්‍ථකයන් මැඩ, සසුන බබුළුවා, විනෙය ජනයන් හික්මවා ශ්‍රාවකයන් සහිතවූයේ පිරිනිවන් පෑහ.
’’එම බුදුරජුන් පිරිනිවි කල්හි ශාස්තෲන් වහන්සේට පුදනු පිණිස නෑ-මිතුරන් කැඳවා ඔවුන් සමග උසින් සත් යොදුන් ඇති, රුවන්මුවාවූ හිරු මෙන් දිලිසෙන්නාවූ, පිපී ගිය රුකක් වැනිවූ සෑයක් කළේය.
’’එහි සත් ලක්‍ෂයක් පාත්‍රයන් කරවීය. සත්රුවන් කරණකොටගෙන බටවලට ඇවිලගත් ගින්නක් මෙන් බබලත්.
’’එම පාත්‍රයන්හි සව්සත්නට අනුකම්පාව ඇති බුදුරජාණන් වහන්සේට පුද පිණිස සුවඳ තෙලින් පුරවා පහන් දැල්විය.
’’බුදුරජාණන් වහන්සේට පුද පිණිස රුවණින්ම පිරුණු සත් ලක්‍ෂයක් පුන්කුඹු කරවීය.
’’කුඹු අට අට (අතුරින්) මැද ඔසවන ලද රන් ඇගෑවෝ සරා කල්හිවූ හිරු මෙන් වර්‍ණයෙන් අතිශයින් බබලත්.
’’සිව් දොරටුවෙහි රුවන්මුවා තොරන්හු බබලත්. ඔසවන ලද රම්‍යවූ රුවන්මුවා පුවරු හොබිත්.
’’පරික්‍ෂිප්තවූ, සුනිර්මිත අවතංසයෝ (හිස මල් වඩම්) බබලති. ඔසවන ලද ස්වර්‍ණ පතාකයෝද දිලිසෙති.
’’මැනවින් කරන ලද්දාවූ, ඉතා රතුවූ, රුවන්මුවාවූ මෙම සෑය වර්‍ණයෙන් සැඳෑ හිරු මෙන් අතිශයින් බබලයි.
’’සෑය පිළිබඳවූ වේදිකා තුණකි. එකක් හිරියල්වලින් පිරවිය. එකක් මනොසිලායෙන්ද, එකක් අඳුන්වලින්ද වෙන වෙනම පිරවීය.
’’මෙබඳු රම්‍යවූ පූජාවන් කරවා, සංඝයා සහිතවූ බුදුරජාණන් වහන්සේට දිවි ඇතිතාක් ශක්ති පමණින් දන් දුන්නේය.
’’මම එම (ස්වාමි) සිටුතුමා සමග දිවි ඇතිතාක් හැම ලෙසින්ම එම පින්කම් කොට සමගවම සුගතියට ගියා (වෙමි.)
’’දෙව් මිනිස් දෙගතියෙහි සම්පත් අනුභවකොට සිරුර සමග යන සෙවනැල්ලක් මෙන් ඔහු සමගම සැරිසැරීමි.
’’මින් පෙර එක් අනුවන කපෙහි සියළු ධර්‍මයන් විෂයයෙහි විශිෂ්ට දැකුම් ඇති, මනොඥවූ ඇස් ඇති, විපස්සී නම් බුදුරජතෙම ලොව පහළවීය.
’’එකල්හි මෙතෙම බන්ධුමතී නගරයෙහි යහපත්යයි සම්මතවූ, ආඪ්‍යවූ බමුණෙක්වූයේ, ශාස්ත්‍රාගමයෙන්ද, ධනයෙන්ද, අතිශයින්ම දුප්පත්වුයේ විය.
’’එකල්හිද මම ඔහුගේ සමවූ අදහස් ඇති බැමිණිය වීමි. කිසියම් දිනෙක්හි එම බමුණු තෙමේ ජන සමුහයා මැද හුන්නාවූ අමාපිය (නිවන) දෙසන්නාවූ බුදුරජුන් වෙත එළඹියේය. දහම් අසා තුටුවූයේ එකම සළුව පිදීය.
’’(හැඳගත්) එකම වතින් යුතුව ගෙට ගොස්, ’’මහ නුවණැත්තිය, බුදුරජාණන් වහන්සේට (මා විසින්) සළුවක් දෙන ලදී. (එහි) පින් අනුමෝදන්වනු මැනව’’ යි මෙම වචනය කීය.
’’එකල්හි මම අතිශයින් පිනා ගියා, ඇඳිලි බැඳ, ’’හිමියෙනි, තාදී ගුණ ඇති බුදුරජුන්හට සළුව මැනවින් දෙන ලදය’’ යි අනුමෝදන් වීමි.
’’සුව ඇත්තේ, සැරසුනේව, කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, රම්‍යවූ බරණැස් නගරයෙහි මිහිපතිවූ රජෙක් විය.
’’එකල්හි මම ඔහුගේ අන්තඃපුරයට උතුම්වූ මෙහෙසියවූවා, පූර්‍වස්නේහය කරණකොටගෙන එම ස්වාමියාහට ඉතා දයා ඇත්තී වීමි.
’’හෙතෙම පිඬු පිණිස හැසිරෙන්නාවූ පසේ බුදුවරයන් අට නමක් දැක ප්‍රමුදිතව මාහැඟි පිණ්ඩපාතය දී,
’’යලි පවරා රුවන් මඩුවක් කොට රියන් සියයක්වූ ස්වර්‍ණමය කුඩයක් කඹුරන් ලවා කරවන ලදී.
’’හෙතෙම ඒ සියළු පසේබුදුවරයන් කැඳවා, ස්වර්‍ණාසනයන්හි වැඩ හුන්නාවූ උන්වහන්සේලාට පහන්වූයේ, සියතින් දන් දුන්නේය.
’’එකල්හි මම කාසිරාජයන් හා එම දනද එකතුවම දුනිමි. නැවත මම බරණැස් නගරයෙහි දොරගමක උපනිමි.
’’හෙතෙම සොහොයුරන් සහිතවූයේ, සුඛිතවූ, සමෘද්‍ධවූ කෙළෙඹි කුලයක උපන්නේය. (මම) දෙටුබෑයාගේ මනා පතිවත ඇති භාර්‍ය්‍යාව වීමි.
’’පසේ බුදුවරයෙකු දැක මාගේ ස්වාමියාගේ කණිටු සොහොයුරාගේ ආහාර කොටස උන්වහන්සේට දී ඔහු ආ කල්හි කීමි.
’’හෙතෙම දානය ගැන සතුටු නොවීය. ඉක්බිති මම සැළියෙන් එම ආහාරය ගෙනවුත් ඔහුට දුනිමි. හෙතෙම යලිත් උන්වහන්සේට (එය) දුන්නේය.
’’එකල්හි මම බුදුරජුන් හට කිපුනි. එම ආහාරය බැහැර දමා මඩින් පිරවූ එම පාත්‍රය අකම්ප්‍ය ගුණ ඇති උන්වහන්සේට දුනිමි.
’’දීමෙහිද, ගැනීමෙහිද (යන දෙකරුණෙහිදීම) කසලෙහිවුවද (වෙනස් නොවන) පියුමෙහි (පැහැය) මෙන් සම සිතින් යුත් මුඛ ශෝභාව දැක එකල්හි මම බෙහෙවින් සංවේගයට පත්වීමි.
’’යලි පාත්‍රය ගෙන සුවඳ දියෙන් සෝදා පහන් සිතින් ගිතෙල් සහිත සකුරු පුරවා දුනිමි.
’’යම් යම් තැනක උපනිමි නම් දානය හේතුකොටගෙන සුරූපී වෙමි. බුදුරජුන්හට කළ අපකාරය කරණකොටගෙන මුඛයෙන් දුගඳවූවාද වෙමි.
’’යලි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය නිමවන කල්හි ප්‍රමුදිතවූ මම උතුම් රන් ගඩොලක් දුනිමි.
’’එම ගඩොල සිව් දෑ ගඳින් පුරවා සියළු අඟ පසඟින් යුතුවූවා දුගඳ දොසින් මිදුනී (වීමි.)
’’ගිතෙලින් පිරවූ සත් දහසක් පාත්‍රයන් සත් රුවනින්ම කරවා දහස් ගණන් වැටි දමා දල්වා බුදුරජුන්හට පුද පිණිස පැහැදි සිතින් සත් පෙලක් කොට තැබීමි.
’’එකල්හිද මම එම පිණෙහි වෙසෙසින් කොටස්කාරියක් වුයෙමි. යලි (හේ) කසී රටෙහි උපන්නේ ’’සුමිත්තා’’ යයි ප්‍රකට වූයේය.
’’මම ඔහුගේ සුඛිතවූ, ශෝභනවූ, ප්‍රියවූ භාර්‍ය්‍යාව වීමි. එකල්හි පසේ බුදුවරයන් වහන්සේ නමකට (හේ) ඝනවූ දරණුවක් දුන්නේය.
’’උතුම් දනට සතුටුව එයටද කොටස්කාරියක් විමි. යලිදු කසීරෙටෙහි කොලිය වංශයෙහි උපන්නේ,
’’එකල්හි කෝලිය පුත්‍රයන් පන්සියයක් සමග පන්සියයක් පසේබුදුවරුන්ට උවටැන් කළේය.
’’තෙමසක් (සිවුපසයෙන්) උවටැන්කොට තුන් සිවුරුද දුන්නේය. උසස් පුණ්‍යකර්‍මය අනුව ගිය එකල්හිද ඔහුගේ භාර්‍ය්‍යාව වීමි.
’’ඉන් චුතව මහත් යසස් ඇති ’’නන්‍ද’’ නම් රජෙක් විය. ඔහුගේද සියළු කම් සැපතින් සමෘද්‍ධවූ මෙහෙසිය වීමි.
’’ඉන් චුතවූයේ බඹදත් රජුවී එකල්හි පදුමවතියගේ පුතුන්වූ නොඅඩුවූ පන්සියයක් පසේ බුදුවරයන්ට රජ උයනෙහි වස්වා දිවි ඇතිතාක් උවටැන් කළේය. පිරිනිවි උන්වහන්සේලාසේද පිදීය.
’’සෑයනුද කරවා අප දෙදෙනම පැවිදිව අප්‍රමාණ්‍යවූ සිව් බඹ විහරණයන් වඩා බඹලොවට ගියෙමු.
’’ඉන් චුතවූ (හෙතෙම) මහා තීර්ත්‍ථයෙහි උපන්නේ ’’පිප්පලා’’ යන නම විය. මව්තොමෝ සුමන දේවි වූවාය. කාසිගොත්ත බ්‍රාහ්මණ තෙමේ පියා විය.
’’මම මදුරට උතුම්වූ සාගල පුරයෙහි කපිල බමුණාගේ දුව වීමි. මව්තොමෝ සුචීමතී නම් වුවාය.
’’පිය තෙමේ ඝන කසුන් බිඹුවකින් නිමකොට තැනුවාක් මෙන් වුවා, කාමාශා විරහිතවූ, නුවණැති කසුප්හට දුන්නේය.
’’කිසි දිනෙක්හි ඒ කාරුණීක (කාශ්‍යප) තෙමේ කර්මාන්ත බැලීමට ගොස් කපුටු ආදීන් විසින් කනු ලබන්නාවූ පණුවන් දැක සංවේගයට පත්විය.
’’මමද ගෙහි ඇතිවූ තල අව්වෙහි වියලන කල්හි කපුටන් විසින් කණු ලබන කෘමීන් දැක එකල්හි සංවේගයට පත්විමි.
’’එකල්හි ප්‍රාඥ තෙමේ පැවිදිවිය. මම ඔහු අනුව පැවිදිවීමි. මම පිරිවැජි වතෙහි පස් වසක් විසීමි.
’’බුදුරජුන් පෝෂණය කළාවූ ගෞතමී තොමෝ යම් කලෙක්හි පැවිදිවූවාද, එකල්හි මම ඇය වෙත එළඹ බුදුරජුන් විසින් අනුසස්නා ලද්දී,
’’නොබෝ කලකින්ම රහත් බවට පැමිණියෙමි. කාශ්‍යප ශ්‍රීමත්හුගේ කල්‍යාණ මිත්‍රත්‍වය ආශ්චර්‍ය්‍යයකි.
’’බුදුරජුන්ගේ (ධර්‍මයෙහි) දායාදීවූ කාශ්‍යප (බුද්‍ධ) පුත්‍රතෙමේ මැනවින් එකඟ කළ සිත් ඇත්තේ පෙර විසූ කඳ පිළිවෙල දැනගත්තේය. ස්වර්‍ගයද, අපායද දකී.
’’යලි නැවත ඉපදීමේ අවසානයට පැමිණි, සම්පූර්‍ණ කළ අභිඥාවන් ඇති මුනි තෙමේ, මෙම ත්‍රිවිද්‍යාවන් කරණකොටගෙන තෙවිජ්ජ වූයේද (බහා තබන ලද පව් ඇති බැවින්) බ්‍රාහ්මණ වූයේද වේ.
’’එසේම මරණ භය ඇති, ත්‍රිවිද්‍යාවෙන් යුක්ත භද්දා කාපාලානී තොමෝ සේනා සහිත මාරයා ජයගෙන අන්තිම සිරුර දරයි.
’’(පඤ්චස්කන්‍ධ නම්වූ) ලෝකයෙහි ආදීනව දැක අපි දෙදෙන පැවිදිවීමු. ඒ අපි ක්‍ෂය කළ ආශ්‍රව ඇත්තෝ වෙමු. දැමුනෝද, සීතිභාවයට පැමිණියෝද, නිවණට පැමිණියෝද වෙමු.
’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතින්නක් මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.’’
මෙහි මේ අයුරින් භද්දා කාපිලානී භික්‍ෂුණීන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භද්දකාපිලානීථෙරියාපදානං සත්තමං.