අංගුත්තර නිකාය
එක නිපාතය
10. චතුකොටික වර්ගය
98
පමාද සූත්‍රය:—1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ (ස්වකීය සන්තානයෙහි පිහිටි) කරුණු පිළිබඳව සලකනවිට
2. “මහණෙනි, යම්සේ ප්‍රමාදය මහත් අනර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ බඳුවූ අනික් එක කරුණකුදු මම නොම දකිමි.
4. “මහණෙනි, ප්‍රමාදය මහත්වූ අනර්ථය පිණිප පවතී”
99
අප්පමාද සූත්‍රය:—1. “මහණෙනි, අද්ධ්‍යාත්මිකවූ කරුණු පිළිබඳව සලකනවිට
2. “මහණෙනි, යම්සේ අප්‍රමාදය මහත් අර්ථයට හේතුවේද,
3. “මහණෙනි, ඒ අප්‍රමාදය බඳුවූ අන් එක කරුණකුදු මම
නොම දකිමි.
4. “මහණෙනි, අප්‍රමාදය මහත්වූ අර්ථය පිණිස පවතී’
99–109. (මේ සූත්‍රවල 1. 3 ඡෙද මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1, 3 ඡෙද මෙන් වෙත්.)
100
කොසජ්ජ සූත්‍රය:—2. මහණෙනි, යම්සේ කුසීත භාවය
මහත්වූ අනර්ථය පිණිස පවතීද, 4. “මහණෙනි, කුසීතභාවය මහත්වූ අනර්ථය පිණිස පවතී.”
101
වීරියාරම්භ සූත්‍රය:—2. මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත්වූ
අර්ථය පිණිස පවතීද, 4. ‘මහණෙනි, වීර්‍ය්‍යාරම්භය මහත්වූ අර්ථය පිණිස පවතී”
102
මහිච්ඡතා සූත්‍රය:—මහණෙනි, දැඩි ලෝභී බව මහත්වූ
අනර්ථය පිණිස පවතීද, 4. “මහණෙනි, දැඩිලෝභි බව මහත් අනර්ථය පිණිස පවතී.”
103
අප්පිච්ඡතා සූත්‍රය:—මහණෙනි, අලෝභී බව මහත් අර්ථය
පිණිස පවතීද, 4. “මහණෙනි, අලෝභි බව මහත් අර්ථය පිණිස පවතී.”
104
අසන්තුට්ඨිතා සූත්‍රය:—මහණෙනි, ලද දෙයින් සතුටු
නොවන බව මහත් අනර්ථය පිණිස පවතීද, 4. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව මහත් අනර්ථය පිණිස පවතී.”
105
සන්තුට්ඨිතා සූත්‍රය:—ලද දෙයින් සතුටු වන බව මහත් අර්ථය පිණිස පවතීද, 4. “මහණෙනි, ලද දෙයින් සතුටුවන බව මහත් අර්ථය පිණිස පවතී.”
106
අයොනිසොමනසිකාර සූත්‍රය:—මහණෙනි, අයෝනිසෝමනසිකාරය මහත් අනර්ථය පිණිස පවතීද,
4. “මහණෙනි, ඇතිදේ ඇති සැටි නොදැකීම මහත් අනර්ථය පිණිස පවතී.”
107
යොනිසොමනසිකාර සූත්‍රය:—මහණෙනි, යෝනිසෝමනසිකාරය මහත් අර්ථය පිණිස පවතීද,
4. මහණෙනි, ඇතිදේ ඇතිසැටි දැකීම මහත් අර්ථය පිණිස පවතී.”
108
අසම්පජඤ්ඤ සූත්‍රය:—මහණෙනි, මනාප්‍රඥා නැති බව මහත් අනර්ථය පිණිස පවතීද,
4. මහණෙනි, මනාප්‍රඥා නැතිබව මහත් අනර්ථය පිණිස පවතී.”
109
සම්පජඤ්ඤ සූත්‍රය:—මහණෙනි, මනාප්‍රඥා ඇති බව මහත් අර්ථය පිණිස පවතීද,
4. “මහණෙනි, මනාප්‍රඥා ඇතිබව මහත් අර්ථය පිණිස පවතී.”
110
පාපමිත්ත සූත්‍රය:—“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, පාපමිත්‍රතාව මහත්වූ අනර්ථය පිණිස පවතී”
111
කල්‍යාණමිත්ත සූත්‍රය:—“මහණෙනි, බාහිර කරුණු පිළිබඳව සලකනවිට යම්සේ කල්‍යාණ මිත්‍රතාව (යහපත් මිතුරන් ඇති බව) මහත්වූ අර්ථය පිණිස පවතීද, එබඳු අනික් එක ධර්මයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, කල්‍යාණමිත්‍රතාව මහත්වූ අර්ථය පිණිස පවතී.”
112
අකුශලානුයොග සූත්‍රය:—“මහණෙනි, අද්ධ්‍යාත්මික වූ කරුණු වශයෙන් සලකනවිට යම්සේ අකුශලයන්හි යෙදීම හා කුසලයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතීද, මහණෙනි, එබඳුවූ අන් එක කාරණයකුදු මම නොම දකිමි. මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම මහත්වූ අනර්ථය පිණිස පවතී.”
113
කුසලානුයොග සූත්‍රය:—“මහණෙනි, අද්ධ්‍යාත්මික වූ කරුණු වසයෙන් සලකනවිට යම්සේ කුසලයන්හි යෙදීම හා අකුසලයන්හි නොයෙදීම මහත් අර්ථය පිණිස පවතීද, එබඳුවූ අනික් එක කාරණයකුදු මහණෙනි. මම නොම දකිමි. මහණෙනි, කුශලධර්මයන්හි යෙදීමද අකුශලධර්මයන්හි නොයෙදීමද මහත්වූ අර්ථය පිණිස පවතී.’
114
සද්ධම්මන්තරධාන පමාද සූත්‍රය:—“මහණෙනි, යම්සේ ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද, ඒ බඳු අනික් එක කාරණයකුදු මහණෙනි, මම නොම දකිමි. මහණෙනි, ප්‍රමාදය සද්ධර්මයාගේ විනාසය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතී.”
115
සස සද්ධම්මට්ඨිති අප්පමාද සූත්‍රය:—1. “මහණෙනි, යම්සේ අප්‍රමාද බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසත් නොවිනාසය පිණිසත් අතුරුදන් නොවීම පිණිසත් පවතීද,
2. “මහණෙනි, ඒ බඳුවූ අනික් එක කාරණයකුදු මම නොම දකිමි.
3. “මහණෙනි, අප්‍රමාදබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද නොවිනාසය පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
116
සද්ධම්මන්තරධාන කොසජ්ජ සූත්‍රය:—1 “මහණෙනි, යම්සේ කුසීතභාවය, සද්ධර්මයාගේ විනාසය පිණිසත්, අතුරුදන්වීම පිණිසත් පවතීද,
2. (මේ ඡෙදය සූත්‍ර 116–129 දක්වා මේ වර්ගයේ 115 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි)
3. “මහණෙනි, කුසීතභාවය සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
117
සද්ධම්මට්ඨිති විරියාරම්භ සූත්‍රය:—1. “මහණෙනි, යම්සේ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
3. “මහණෙනි, සම්‍යක් ප්‍රධානවීර්‍ය්‍යය සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාස නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
118
සද්ධම්මන්තරධානමහිච්ඡතා සූත්‍රය:—1. “මහණෙනි, යම්සේ දැඩිලෝභීබව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,
3. “මහණෙනි, දැඩිලෝභි බව සද්ධර්මයාගේ විනාසය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
119
සද්ධම්මට්ඨිති සූත්‍රය:—1. “මහණෙනි, යම්සේ අලෝභිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
3. “මහණෙනි, අලෝභිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද, විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
120
සද්ධම්මන්තරධාන අසන්තුට්ඨිතා සූත්‍රය:—
“මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,
3. “මහණෙනි, ලද දෙයින් සතුටු නොවන බව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී,
121
සද්ධම්මට්ඨිති සන්තුට්ඨිතා සූත්‍රය:—1 “මහණෙනි, යම්සේ ලද දෙයින් සතුටුවන බව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද?
3. “මහණෙනි, ලද දෙයින් සතුටු වන බව සද්ධර්මයාගේ පැවත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී,
122
සද්ධම්මන්තරධාන අයෝනිසෝමනසිකාර සූත්‍රය:—
1. මහණෙනි, යම්සේ අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද?
3. මහණෙනි, අනුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී”
123
සද්ධම්මට්ඨිතියෝනිසෝමනසිකාර සූත්‍රය:—
1. “මහණෙනි, යම්සේ නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද, අතුරුදන්නොවීම පිණිසත් පවතීද?
3. “මහණෙනි, නුවණින් මෙනෙහි කිරීම සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසත් පවතී”
124
සද්ධම්මන්තර අසම්පජඤ්ඤ සූත්‍රය:—1 “මහණෙනි, යම්සේ මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද
3. “මහණෙනි, මුළාබව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී”
125
සද්ධම්මට්ඨිතිසම්පජඤ්ඤ සූත්‍රය:—1 “මහණෙනි, යම්සේ මනා ප්‍රඥා ඇතිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
3. “මහණෙනි, මනා ප්‍රඥා ඇතිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන්නොවීම පිණිසද පවතී.”
126
සද්ධම්මරන්තරධාන පාපමිත්තතා සූත්‍රය:—
1. “මහණෙනි, එසේම පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතීද,
3. ‘මහණෙනි, පාපමිත්‍රතාව සද්ධර්මයාගේ විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
127
සද්ධම්මට්ඨිති කල්‍යාණමිත්තතා සූත්‍රය:—
1. “මහණෙනි, එසේම යහපත් මිතුරන් ඇතිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද, අතුරුදන් නොවීම පිණිසද පවතීද?
3. “මහණෙනි, යහපත් මිතුරන් ඇතිබව සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
128
සද්ධම්මන්තරධාන අකුසලානුයොග සූත්‍රය:—
1. මහණෙනි, එසේම අකුශලධර්මයන්ගි යෙදීම හා කුශල ධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් (ස්වභාවයෝ සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ) විනාශය පිණිසද අතුරුදන්වීම පිණිසද පවතීද,
3. “මහණෙනි, අකුශලධර්මයන්හි යෙදීම හා කුශලධර්මයන්හි නොයෙදීම යන මේ කරුණු හෙවත් (ස්වභාවයෝ) සද්ධර්මයාගේ (හෙවත් ශාසනයාගේ) විනාශය පිණිසත් අතුරුදන්වීම පිණිසත් පවතී.”
129
සද්ධම්මට්ඨිති කුසලානුයෝග සූත්‍රය:—1. “ මහණෙනි, එසේම කුශලධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතීද,
3. “මහණෙනි, කුශලධර්මයන්හි නැවත නැවත යෙදීම හා අකුශල ධර්මයන්හි එසේ නොයෙදීම යන මේ කරුණු හෙවත් ස්වභාවයෝ සද්ධර්මයාගේ පැවැත්ම පිණිසද විනාශ නොවීම පිණිසද අතුරුදන් නොවීම පිණිසද පවතී.”
(දසවෙනි වර්ගය නිමි.)