අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
4. චතුත්‍ථ පණ්ණාසකය
(17) 2. යමක වර්‍ගය
5. අධම්මානත්‍ථ සූත්‍රය
’’මහණෙනි, අධර්‍මය හා අනර්ත්‍ථයද, ධර්‍මය හා අධර්‍මයද, දත යුතුය. අධර්‍මය හා අනර්ත්‍ථය දැන, ධර්‍මය හා අර්ත්‍ථය දැන, ධර්‍මය පරිද්දෙන් පිළිපැදිය යුතුය. මහණෙනි, අර්ත්‍ථයද, අනර්ත්‍ථයද කවරේද?
’’සතුන් මැරීම, නුදුන් දෙය ගැනීම, කාමයන්හි වැරදි හැසිරීම, බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, විෂම ලෝභය, ක්‍රොධය, වැරදි දැකීමද වෙත්. මහණෙනි, මෙය අධර්‍මය හා අනර්ත්‍ථයයයි කියනු ලැබේ.
’’මහණෙනි, ධර්‍මය හා අර්ත්‍ථය කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, නුදුන් දෙය ගැනීමෙන් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරු කීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, පරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, විෂම ලෝභය නොවීම, ක්‍රොධය නොවීම, නිවැරදි දැකීමද වෙත්.
’’මහණෙනි, මෙය ධර්‍මය හා අර්ත්‍ථයයයි කියනු ලැබේ.
’’මහණෙනි, අධර්‍මයද දතයුතුය. අනර්ත්‍ථයද, ධර්‍මයද දත යුතුය. අර්ත්‍ථයද, ධර්‍මයද දැන, අර්ත්‍ථය යම් සේද, ධර්‍මය යම්සේද, එසේ පිළිපැදිය යුතුය, යන යමක් වදාළෝද, මෙයම නිසා වදාරණ ලද්දේය.