අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

4. චතුත්‍ථ පණ්ණාසකය

(19) 4. අරියමග්ග වර්‍ගය

1. අරියානරියමග්ග සූත්‍රය

’’මහණෙනි, තොපට ආර්‍ය්‍ය මාර්‍ගයද, අනාර්‍ය්‍ය මාර්‍ගයද දෙසන්නෙමි. එය හොඳට අසව්. මෙනෙහි කරවු. කියන්නෙමි.’’ ’’ස්වාමීනි, එසේය’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.’’

’’මහණෙනි, අනාර්‍ය්‍ය මාර්‍ගය කවරේද? සතුන් මැරීම, හොරකම, කාමයන්හි වැරදි හැසිරීම, බොරුකීම, කේළාම් කීම, ඵරුෂ වචන කීම, හිස් වචන කීම, දැඩි ලෝභකම, ක්‍රෝධය, වැරදි දැකීමයි. මහණෙනි, මෙය අනාර්‍ය්‍ය මාර්‍ගයයි කියනු ලැබේ.’’

’’මහණෙනි, ආර්‍ය්‍ය මාර්‍ගය කවරේද? සතුන් මැරීමෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, කාමයන්හි වැරදි හැසිරීමෙන් වෙන්වීම, බොරුකීමෙන් වෙන්වීම, කේළාම් කීමෙන් වෙන්වීම, ඵරුෂ වචන කීමෙන් වෙන්වීම, හිස් වචන කීමෙන් වෙන්වීම, තද ලෝභකම නොවීම, ක්‍රෝධය නොවීම, නිවැරදි දැකීමයි. මහණෙනි, මෙය ආර්‍ය්‍ය මාර්‍ගය කියනු ලැබේ.’’

’’මහණෙනි, මේ ධර්‍ම දශයෙන් යුක්තවූ පුද්ගල තෙම සේවනය කළ යුතුයි.’’