අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(7) 2. යමක වර්‍ගය

4. අවෙච්චප්පසන්න සූත්‍රය

’’මහණෙනි, යම් කෙනෙක් මා කෙරෙහි අචල ශ්‍රද්‍ධාවෙන් යුක්තවූවාහුද, ඒ සියල්ලෝ සොවාන්හ. ඒ සෝවාන් පුද්ගලයෝ පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්. පස් දෙනෙකුට මෙය හැර නිෂ්ටා වෙත්.

’’කවර පස් දෙනෙකුට මෙහි නිෂ්ටාවෝ වෙත්ද? සත්වනවර රහත් වන පුද්ගලයාටද, සයවෙනි වාරය දක්වා අතරදී රහත්වන කොලොංකොල පුද්ගලයාටද, දෙවන වාරයේ රහත්වන එකබීජ පුද්ගලයාටද, සකෘදාගාමී පුද්ගලයාටද, යමෙක් මේ ආත්මයෙහි රහත්ද යන මේ පුද්ගලයන් පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්.’’

’’කවර පස් දෙනෙකුට මෙය හැර පිටදී නිෂ්ටාවෝ වෙත්ද? පඤ්ච ශ්‍රද්‍ධාවාසයෙහි ආයුෂ අර්‍ධයක් අවසන් නොකර පිරිනිවෙන අන්තරා පරිනිබ්බායීද, අර්‍ධයක් අවසන්තොට පිරිනිවෙන උපච්චාපරිනිබ්බායීද, උත්සාහයෙන් කෙළෙස් නැති කරණ සසංඛාර පරිනිබ්බායීද, නිදුකින් ක්ලේශ පරිනිර්‍වාණය කරණ අසංඛාර පරිනිබ්බායිය, අවිහයේ සිට අකනිෂ්ටය දක්වා ගොස් කෙලෙස් නසන උද්‍ධංසොත අකනිඨගාමිණී යන මේ පස් දෙනාට මෙය හැර නිෂ්ටාවෝ වෙත්. මහණෙනි, යම් කිසි කෙනෙක් මා කෙරෙහි නිෂ්ටාවට පැමිණියාහුද, ඒ සියල්ලෝ සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවාහුය. ඒ දෘෂ්ටියෙන් යුක්තවූ මේ පස් දෙනාට මෙහි නිෂ්ටාවෝ වෙත්. මේ පස් දෙනාට මෙය හැර නිෂ්ටාවෝ වෙත්.