අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. යමක වර්‍ගය
8. පලසවන සූත්‍රය
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට චාරිකාවෙහි හැසිරෙන සේක් මහත් භික්‍ෂු සමූහයක් සමග නළපාන නම් කොසොල් රට වාසීන්ගේ නියම් ගමක් වේද, එහි විසූ සේක. එහි වනාහි භාග්‍යවතුන් වහන්සේ නළපාන ගමෙහි, පලාස වනයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙහි භික්‍ෂු සංඝයා පිරිවරා වැඩ හුන්නේ වේ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ රාත්‍රියෙහි බොහෝ වේලාවක්ම භික්‍ෂූන් සමග ධාර්මික කථාවෙන් කරුණු දක්වා, පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටු කරවා, තුෂ්ණීම්භූතවූ භික්‍ෂු සංඝයා බලා ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට ආමන්ත්‍රණය කළ සේක.
’’ශාරීපුත්‍රය, භික්‍ෂු සංඝයා පහවූ නිදිබර ගතියෙන් යුක්තය. ශාරීපුත්‍රය, භික්‍ෂූන්ට ධර්‍ම කථාව කිරීමට ඒ ඔබට වැටහේවා. මාගේපිට රිදේ. ඒ නිසා මම නවතින්නෙමි.’’
’ස්වාමීනි, එසේය’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟල සිවුර සතරට නමා, දකුණු පාර්‍ශවයෙන් පාදයෙහි පය පිහිටුවා සිහියෙන්, මනා නුවණින් නැගිටින සංඥාව මෙනෙහි කොට සිංහසෙය්‍යාව කළ සේක.
එකල්හි වනාහි, ’’ඇවැත් භික්‍ෂූනි’’ යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් නැත්තේද, පවට ලජ්ජාවක් නැත්තේද, බියක් නැත්තේද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, දහම් අනුව හැසිරීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් නැත්තේද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කිව යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.
’’ඇවැත්නි, කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පිරිහේ. එය පාටින් පිරිහෙයි. අවටින් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක්, බියක්, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථය පරීක්‍ෂා කිරීමක්, බණ අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි නොපමාවක් නැත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්‍මයන්හි පිරිහීමට කැමති විය යුතුය. වැඩීම නොවේ.
’’ඇවැත්නි, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්තේද, පවට ලජ්ජාවක් ඇත්තේද. පවට බියක් ඇත්තේද, වීර්‍ය්‍යයක් ඇත්තේද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ පරීක්‍ෂාවක්, ධර්මය අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඇවැත්නි, පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පාටින් වැඩෙයි. අවටින් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද, (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ඇද්ද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, බණ අනුව පිළිපැදීමක් ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.’’
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නැගිට ආයුෂ්මත් ශාරීපුත්‍රයන් වහන්සේට ඇමතූ සේක. ’’ශාරීපුත්‍රය, යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් නැත්තේද, පවට ලජ්ජාවක් නැත්තේද, බියක් නැත්තේද, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, දහම් අනුව හැසිරීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් නැත්තේද, ඕහට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි හානියක්ම කිව යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.
’’ශාරීපුත්‍රය, කළුවර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පිරිහේ. එය පාටින් පිරිහෙයි. අවටින් පිරිහෙයි. ආලෝකයෙන් පිරිහෙයි. උස මහතින් පිරිහෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් නැද්ද, ලජ්ජාවක්, බියක්, වීර්‍ය්‍යයක්, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථය පරීක්‍ෂා කිරීමක්, බණ අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි නොපමාවක් නැත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් ඒද, කුශල ධර්‍මයන්හි පිරිහීමට කැමති විය යුතුය. වැඩීම නොවේ.
’’ශාරීපුත්‍රය , යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇත්තේද, පවට ලජ්ජාවක් ඇත්තේද. පවට බියක් ඇත්තේද, වීර්‍ය්‍යයක් ඇත්තේද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ පරීක්‍ෂාවක්, ධර්මය අනුව පිළිපැදීමක්, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇත්තේද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් කැමති නොවිය යුතුය. ඇවැත්නි, පුර පක්‍ෂයෙහි චන්‍ද්‍රයාගේ යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, පාටින් වැඩෙයි. අවටින් වැඩෙයි. ආලෝකයෙන් වැඩෙයි. උස මහතින් වැඩෙයි. ඇවැත්නි, එසේම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්‍රද්‍ධාවක් ඇද්ද, (පවට) ලජ්ජාවක් ඇද්ද, (පවට) බියක් ඇද්ද, වීර්‍ය්‍යයක් ඇද්ද, ප්‍රඥාවක්, කන් යොමු කිරීමක්, බණ දැරීමක්, අර්ත්‍ථ සෙවීමක්, බණ අනුව පිළිපැදීමක් ඇද්ද, කුශල ධර්‍මයන්හි අප්‍රමාදයක් ඇද්ද, ඔහුට යම් රාත්‍රියක් හෝ දවාලක් එයිද, කුශල ධර්‍මයන්හි අභිවෘද්‍ධියක්ම කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.’’