අංගුත්තර නිකාය
එක නිපාතය
13. භාරංඩු (හෝ) කුසිනාරා වර්ගය
130. දුතිය අනුරුද්ධ සූත්‍රය
“ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ හා සතුටුවිය, සතුටු වියයුතු සිහිකටයුතු කථා කොට නිමවා එක් පසෙක හිඳ ගත්තේය. එක් පසෙක හිඳගත් ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළේය.
“ඇවැත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්ස, මම මිනිසත් බව ඉක්මවූ පිරිසිදුවූ දිවැසින් ලොක දහසක් බලමි. මා විසින් පටන්ගන්නා ලද වීර්‍ය්‍ය නො හැකුළුණේය. සිහිය එළඹ සිටියාය මුළා නොවූවාය. කය සංසිඳුණේය. දාහරහිත වූයේය. සිත එකඟව සමාධියට පැමිණියේය. එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් නොමිදේ යයි’ කීය.
“ඇවැත් අනුරුද්ධය, තොපට මම මෙසේ මිනිසත් බව ඉක්මවූ පිරිසිදු දිවැසින් දහසක් ලොකයන් බලමි යන යමක් ඇද්ද මෙය තොපගේ මානය වෙයි. අනුරුද්ධය, තොපට, මෙසේ මා විසින් වීර්‍ය්‍යය පටන් ගන්නා ලදී. වීර්‍ය්‍යය නොහැකුළුණේය. නුමුළාවූ සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. දාහරහිතය. සිත එකඟවිය සමාධියට පැමිණියේය යන යමක් වේද මෙය තොපගේ උද්ධච්චය වෙයි.
“අනුරුද්ධය, තොපට මෙසේ එවිටද මාගේ සිත තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන ආශ්‍රවයන් කෙරෙන් නොමිදේය යන යමක් වේද, මෙය තොපගේ විචිකිච්ඡාව වෙයි. “ආයුෂ්මත් අනුරුද්ධ තෙමේ මේ ධර්ම තුන හැරදමා මේ ධර්ම තුන මෙනෙහි නොකොට නිර්වාණ ධාතුවට හිත එළවන්නේ නම් මැනවියයි” වදාළේය.
“එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිර තෙමේ තනිව සමූහයාගෙන් වෙන්ව අප්‍රමාදව කෙලෙස්තවන වීර්‍ය්‍යයෙන් යුක්තව ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නේ නොබෝ කලකින්ම කුලපුත්‍රයෝ යම් අර්ථයක් පිණිස ගිහිගෙයින් නික්ම ශසනයෙහි පැවිදිවෙත්ද මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසාන කොට ඇති ඒ අනුත්තර ධර්මය මේ ආත්මයෙහිම තෙමේ විශෙෂ ඥානයෙන් දැන ඊට පැමිණ වාසය කෙළේය.
“ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්‍ය්‍යාව වැස නිමවනලදී. කළයුත්ත කරන ලදී. මෙයින් පසු ආත්මභාවයක් නැතැයි දැන ගත්තේය. අනුරුද්ධ තෙමේ රහතුන් අතුරෙන් එක්තරා රහත් පුද්ගලයෙක් විය.”