අංගුත්තර නිකාය
එක නිපාතය
3. පුග්ගල වර්ගය
23. අභිසංඛරණ සූත්‍රය
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූ කාය කර්මය රැස් කෙරෙයි. දුක් සහිතවූ වාක් කර්මය රැස් කරයි, දුක් සහිතවූ මනො කර්මය රැස්කරයි. හෙතෙම දුක් සහිතවූ කාය කර්මය රැස්කොට දුක් සහිතවූ වාග් කර්මය රැස්කොට දුක් සහිතවූ මනොකර්මය රැස්කොට දුක් සහිතවූ ලෝකයෙහි උපදී. දුක් සහිතවූ ලෝකයෙහි උපන්නාවූ ඒ ඔහු දුක් සහිතවූ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූ ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් සහිතවූ ඒකාන්තයෙන් දුක්වූ වේදනාව විඳී. නරකයෙහි සත්වයෝ යම්සේ නම් එසේමයි”
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් රහිතවූ කාය කර්මය රැස් කෙරෙයි, දුක් රහිතවූ වාග් කර්මය රැස්කරයි, දුක් රහිතවූ මනොකර්මය රැස්කරයි. හෙතෙම දුක් රහිතවූ කාය කර්ම රැස්කොට දුක් රහිතවූ වාග්කර්ම රැස් කොට දුක් රහිතවූ මනො කර්ම රැස්කොට දුක් රහිතවූ ලෝකයෙහි උපදී. දුක් රහිතවූ ලෝකයෙහි උපන්නාවූ ඒ ඔහු දුක් රහිතවූ ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් රහිතවූ ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් රහිතවූ ඒකාන්තයෙන් සැපවූ වේදනාව විඳී. සුභකිණ්ණ නම් බඹලොව වැසි දෙවියෝ යම්සේ නම් එසේයි
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙම දුක් සහිතවූද දුක් රහිතවූද කායකර්මය රැස්කෙරෙයි. දුක් සහිතවූද දුක් රහිතවූද වාග්කර්මය රැස්කරයි, දුක් සහිතවූද දුක් රහිතවූද මනො කර්මය රැස් කරයි, හෙතෙම දුක් සහිතවූද දුක් රහිතවූද කාය කර්මය රැස්කොට දුක් සහිතවූද දුක් රහිතවූද වාග් කර්මය රැස්කොට, දුක් සහිතවූද දුක් රහිතවූද මනො කර්මය රැස්කොට දුක් සහිතවූද දුක් රහිතවූද ලෝකයෙහි උපදී. දුක් සහිතවූද දුක් රහිතවූද ලෝකයෙහි උපන්නාවූ ඒ ඔහු දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශයෝ ස්පර්ශ කෙරෙත්. හෙතෙම දුක් සහිතවූද දුක් රහිතවූද ස්පර්ශවලින් ස්පර්ශ කරණ ලද්දේම දුක් සහිතවූද දුක් රහිතවූද මිශ්‍රවූ සැප දුක් ඇත්තාවූ වේදනාව විඳී. මනුෂ්‍යයෝද සමහර කාමාවචර දෙවියෝද, ඇතැම් වෛමානික ප්‍රේතයෝද යම්සේ නම් එසේයි.