අංගුත්තර නිකාය

එක නිපාතය

8. ආනන්ද වර්ගය

76. භව පඤ්හ සූත්‍රය

“එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්ට මෙසේ සැළ කෙළේය. “ස්වාමීනි, භවය භවය යයි කියනු ලැබේ. ස්වාමීනි, කෙතෙක් කරුණකින් භවය වේද? යනුයි.”

“ආනන්දය, කාම ධාතුයයි කියනලද කාම ලොකයෙහි පැසෙන්නාවූ-විපාක බවට පැමිණෙන්නාවූ කර්මයක් නැත්නම් කාම භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”

“ආනන්දය, මෙසේ වනාහි කර්මය ක්ෂෙත්‍රය වෙයි. විඤ්ඤාණය බීජය වෙයි. තණ්හාව ස්නෙහය-ජලය-වෙයි

“අවිද්‍යාවෙන් වැසුණාවූ තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්වයන්ගේ විඤ්ඤාණය හීන ධාතුයයි කියනලද කාම ලොකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.

“ආනන්දය මධ්‍යම ධාතුයයි කියනලද රූප ලොකයෙහි පැසෙන්නාවූ-විපාක බවට පැමිණෙන්නාවූ කර්මයක් නැත්නම් රූප භවයක් පෙනේද?” “ස්වාමීනි, එසේ නොවේමය.”

(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)

“අවිද්‍යාවෙන් වැසුණාවූ තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්වයන්ගේ විඤ්ඤාණය මධ්‍යම ධාතුයයි කියන ලද රූප ලොකයෙහි පිහිටියේ වෙයිද මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි.

“ආනන්දය, අරූප ලොකයෙහි පැසෙන්නාවූ කර්මයක් නැත්නම් අරූප භවය පෙනේද?” “ස්වාමීනි, එසේ නෙවේමය.”

(මේ ඡෙදය මේ සූත්‍රයේ 3 ඡෙදය මෙනි.)

“අවිද්‍යාවෙන් වැසුණාවූ තෘෂ්ණාවෙන් බැඳුණාවූ සත්වයන්ගේ විඤ්ඤාණය ප්‍රණීත ධාතුයයි කියනලද අරූප ලොකයෙහි පිහිටියේ වෙයිද, මෙසේ මතු පුනර්භවයාගේ පහළවීම වෙයි. ආනන්දය, මෙසේ වනාහි භවය වේයයි” වදාළේය.