අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
3. තුන්වෙනි පණ්ණාසකය
(11) 1. වලාහක වර්‍ගය
9. රුක්ඛොපම සූත්‍රය
’’මහණෙනි, මේ වෘක්‍ෂයෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්. එලය පිරිවර කොට ඇති එලය, හරය පිරිවර කොට ඇති එලය, එලය පිරිවර කොට ඇති හරය, හරය පිරිවර කොට ඇති හරය, යන සතර දෙනයි. මහණෙනි, එසේම වෘක්‍සයට බඳු උපමා ඇති පුද්ගලයන් සතර දෙනෙක් ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. එලය පිරිවර කොට ඇති එලය, හරය පිරිවර කොට ඇති එලය, එලය පිරිවර කොට ඇති හරය, හරය පිරිවර කොට ඇති හරය, යන සතර දෙනයි. මහණෙනි, පුද්ගල තෙමේ කෙසේ එලය පිරිවර කොට ඇති එලය වේද?
’’මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීල වේද, ලාමක ස්වභාව ඇත්තේ වේද, ඔහුගේ පිරිසද දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති එලය වේ, මහණෙනි, එලය පිරිවර කොට ඇති එලය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති එලය වේද, මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස තොමෝ සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙබඳු පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති එලය වේද, මහණෙනි, හරය පිරිවර කොට ඇති එලය ඇති වෘක්‍ෂය යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, කෙසේ නම් පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති හරය වේද? මහණෙනි, මේ ලෝකයහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස දුශ්ශීලද, ලාමක ස්වභාව ඇත්තේද , මහණෙනි, මෙසේ පුද්ගල තෙම එලය පිරිවර කොට ඇති හරය වේ, මහණෙනි, ඒ වෘක්‍ෂයක් එලය පිරිවර කොට ඇති හරය වේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි.
’’මහණෙනි, හරය පිරිවර කොට ඇති හරය සමාන පුද්ගලයා කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, ඔහුගේ පිරිස සිල්වත්ද, යහපත් ස්වභාව ඇත්තේද, මහණෙනි, මෙසේ පුද්ගල තෙම හරය පිරිවර කොට ඇති හරය වේ. මහණෙනි, හරය පිරිවර කොට ඇති හරය ඇති වෘක්‍ෂය යම් සේද, මහණෙනි, මේ පුද්ගලයා එබඳුයයි කියමි. මහණෙනි, මේ සතර වෘක්‍ෂයන්ට උපමා ඇති පුද්ගලයෝ ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’