අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

3. තුන්වෙනි පණ්ණාසකය

(13) 3. භය වර්‍ගය

5. පඨම අප්පමඤ්ඤා සූත්‍රය

’’මහණෙනි, මේ පුද්ගලයන් සතරදෙනෙක් ලෝකයෙහි විද්‍යමාන වෙත්. කවර සතර දෙනෙක්ද යත්. මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මෛත්‍රී සහගත සිතින්

’’එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය,

’’මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරයි.

’’හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.

’’මහණෙනි, බ්‍රහ්මකායික දෙවියන්ට කල්පයක් ආයු ප්‍රමාණය වෙයි.

’’පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශෙෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.

’’මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කරුණා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.

’’මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මුදිතා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, බ්‍රහ්මකායික දෙවියන් හා සහවාසයට පැමිණෙයි.

’’මහණෙනි, නැවතද මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් උපෙක්‍ෂා සහගත සිතින් මෙහි එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක් පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍ව ප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරයි. හෙතෙම එය ආශ්වාද කරයි. එය කැමැති වෙයි. එයින් තෘප්තියට පැමිණෙයි. එහි සිටියේ, ඊට නැමුනේ, එය බහුලකොට වසන්නේ, නොපිරිහුනේ, කළුරිය කරන්නේ, ආභස්සර දෙවියන් හා සහවාසයට පැමිණෙයි. ’’මහණෙනි, ආභස්සර දෙවියන්ගේ ආයු ප්‍රමාණය කල්ප දෙකකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට සුභකිණ්ණක දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, සුභකිණ්ණක දෙවියන්ට ආයු ප්‍රමාණය කල්ප සතරකි. එහි පෘතග්ජනයා ආයු ඇතිතාක් සිට වෙහප්ඵල දෙවියන් හා සහවාසයට යයි. මහණෙනි, වෙහප්ඵල දෙවියන්ට කල්ප පහක් ආයුෂය.

’’පෘතග්ජනයා එහි ආයු ඇතිතාක් සිට, ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් ප්‍රමාණක්ද, ඒ සියල්ල ගෙවා, නරකයටද යයි. තිරිසන් තිරිසන් අපායටද යයි. ප්‍රේත ලෝකයටද යයි. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා එහි ආයු ඇතිතාක් සිට ඒ දෙවියන්ගේ ආයු ප්‍රමාණය යම් තාක්ද, ඒ සියල්ල ගෙවා ඒ භවයෙහිම පිරිනිවෙයි. මහණෙනි, ගතිය, උත්පත්තිය ඇති කල්හි. අශ්‍රුතවත් පෘතග්ජනයා හා ශ්‍රුතවත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ මේ විශෙෂයයි. මේ අදහසයි. මේ වෙන් කිරීමයි.

’’මහණෙනි, මේ පුද්ගලයෝ සතරදෙන ලෝකයෙහි ඇත්තාහ. විද්‍යමාන වෙත්.’’