අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
4. හතරවෙනි පණ්ණාසකය
(20) 5. මහා වර්‍ගය
4. සාපුගිය (සාමුගිය) සූත්‍රය
එක් කාලයෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ. කෝලිය ජනපදයෙහි සාපූග නම් කොලියයන්ගේ නියම්ගමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝවූ සාපූග නියම් ගම් වැසි කෝලිය පුත්‍රයෝ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද තෙරුන් වැඳ, එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි සාපූගිය කෝලිය පුත්‍රයන්ට, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මේ වක්‍ෂයමාන කරුණ වදාළ සේක.
’’සාපූග ගම්වාසීනි, දක්නාවූ, දන්නාවූ, අර්‍හත් සම්මා සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්‍වයන්ගේ විශුද්‍ධිය පිණිස, ශොක වැළපීම් සංසිඳවා ගැනීම පිණිස, දුක් දොම්නස් සංසිඳවීම පිණිස, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය ලබා ගැනීම පිණිස, නිර්වාණය ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස, මේ පිරිසිදුබව පිණිස, වැඩියයුතු කරුණු සතරක් මනාකොට දේශනා කරණ ලදී. කවර සතරක්ද යත්, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය, සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යය, දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය, කෙලෙසුන්ගෙන් සිත මිදීම පිරිසිදු කරණ වීර්‍ය්‍යය යන සතරයි.
’’සාපූග ගම්වාසීනි, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ ශාසනයෙහි මහණ තෙම, සිල්වත් වේද, සංවරවූයේ වේද, ආචාර ගෝචර දෙකින් සමන්විත වේද, කුඩා වරදෙහි පවා භය දක්නා ස්වභාව ඇත්තේ වේද, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙයිද, සාපූග ගම් වාසීනි, මේ ශීල පාරිසුද්‍ධියයි. මෙසේ මෙබඳු සීල පාරි සුද්‍ධිය.
’’අසම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්‍දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්‍ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
සාපූග ගම්වාසීනි, සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ ශාසනයෙහි මහණ තෙම කර්‍මයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපක් විඳියි. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සාපූග ගම් වාසීනි, මේ විත්ත පාරිශූද්‍ධියයි. මෙසේ මෙබඳු විත්ත පාරිශුද්‍ධිය
අසම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්‍දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්‍ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
’’සාපූග ගම්වාසීනි, මෙය (සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යයයි.) චිත්ත පාරිසුද්‍ධි පධාන අඞ්ගයයි.
’’ සාපූග ගම්වාසීනි, දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය කවරේද? සාපූග ගම්වාසීනි, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ ශාසනයෙහි මහණතෙම, මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ දුක් නැතිකිරිමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද, සාපූග ගම්වාසීනි, මේ දිඨි පාරිශූද්‍ධියයි කියනු ලැබේ. මෙසේ මෙවැනි දිඨි පාරිශුද්‍ධිය මේ (දිඨිය පිරිසිදු කරණ වීර්‍ය්‍යය) දිඨිපාරිශුද්‍ධිපධානියඞ්ගයයි කියනු ලැබේ. අසම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්‍දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්‍ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ.
’’සාපූග ගම්වාසීනි, සිත කෙලෙසුන්ගෙන් මුදන විමුක්තිපාරිශුද්‍ධිපධානියඞ්ගය කවරේද? සාපූග ගම්වාසීනි, ඒ ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මේ සිල් පිරිසිදු කරනා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, මේ සිත පිරිසිදු කරණ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, මේ දෘෂ්ටිය පිරිසිදු කරණ වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, ඇලුම් කටයුතු ධර්‍මයන්හි සිත නොඅලවයි. විඳවිය යුතු ධර්‍මයන්ගෙන් සිත මුදවයි. හෙතෙම ඇලුම් කටයුතු ධර්‍මයන්ගෙන් සිත දුරුකොට, විඳියයුතු ධර්‍මයන්ගෙන් සිත මුදා, මනාකොට නිවණ ස්පර්‍ශ කරයි. සාපූග ගම්වාසීනි, මෙය විමුක්ති පාරිශුද්‍ධියයි කියනු ලැබේ. මෙසේ මෙවැනි විමුක්ති පාරිශුද්‍ධිය අසම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමි. සම්පූර්‍ණයෙන් හෝ පුරන්නෙමියි ඒ ඒ තන්හි ප්‍රඥාවෙන් අනුග්‍රහ කරන්නෙමි යන සිහියද, එහි යම් ඡන්‍දයක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, දැඩි උත්සාහයක්ද, නොනැවතීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද ඇද්ද, සාපූග ගම් වාසීනි, මෙය සීලපාරිසුද්‍ධිපධානියඞ්ගය, සිල් පිරිසිදු කරණ වීර්‍ය්‍යය නම් වේ. මේ විමුක්තිපාරිශුද්‍ධිපධානියඞ්ගයයි කියනු ලැබේ.
’’සාපූග ගම්වාසීනි, මේ පිරිසිදුබව පිණිස කරණ වීර්‍ය්‍ය සතර දන්නාවූ, දක්නාවූ, භාග්‍යවත්වූ ඒ අර්‍හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලදී. සත්ත්‍වයන්ගේ විශුද්‍ධිය පිණිස, ශොක පරිදේවයන් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් අස්තඞ්ගම කිරීම පිණිස, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය අවබොධ කර ගැනීම පිණිස, නිවණ ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිස පවතී යයි වදාළසේක.’’