අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(20) 5. මහා වර්‍ගය

3. භද්දිය ලිච්ඡවි සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති භද්දිය නම් ලිච්ඡවි රජ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි භද්දිය ලිච්ඡවි තෙමේ, භාග්‍යවතුන් වහන්සේට, ’’ස්වාමීනි, මා විසින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායා දන්නේය, යම් මායාවකින් අන්‍ය තීර්ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් හරවා ගනිත්ද, එබඳු ආවර්‍තනීය මායාවක් දනීයයි මා විසින් අසන ලදී.

’’ස්වාමීනි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාවීය. යම් මායාවකින් අන්‍ය තීර්ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් හරවා ගනීද, එබඳු ආවර්‍තනීය මායාවක් දනීය’ යි මෙසේ කීවාහුද, ස්වාමීනි, කිමෙක්ද, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් කියන්නාහුද, භාග්‍යවතුන් වහන්සේ බොරුවෙන් යටකොට කියත්ද, ධර්‍මයට අනු ධර්‍මයක් ප්‍රකාශ කරන්නහුද, කිසියම් කරුණු සහිත වාදයක් ගැරහියයුතුකොට නොපැමිණෙත්ද, ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේ අභිභවා නොකියනු කැමැත්තෝ වෙමු.

’’භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්‍කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.

’’භද්දියෙනි, යම් කලක තොපට මේ ධර්‍මයෝ අකුශලය, මේ ධර්‍මයෝ වරදය, මේ ධර්‍මයෝ ඤාණවන්තයන් විසින් ගර්‍හා කරණ ලද්දාහ. මේ ධර්‍මයෝ සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්යයි යම් කලෙක තොප තමන්ම දන්නහු නම්, ඉක්බිති භද්දිය, තොපම අත්හරිව්.

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? ලොභය,

’’පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?’’

’’ස්වාමීනි, අහිත පිණිසය.’’

’’භද්දිය, ලොභයෙන් මඩනා ලද

’’යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?’’

’’එසේය, ස්වාමීනි.’’

’’භද්දිය, ද්වේෂය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද?’’ භද්දිය, ද්වේෂයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද?’’

’’භද්දිය, මොහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ පවතීද? බද්දිය, මොහයෙන් මඩනාලද යටකොට ගත් සිත් ඇති පුරුෂ පුද්ගල තෙම ප්‍රාණීන්ද මරයි. නුදුන් දේද ගනී. පර අඹුවන් වෙතද යයි. බොරුද කියයි. යම් කරුණක් ඒ පුද්ගලයාට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස වේද, අනුන්ද ඒ පිණිස පමුණුවයි. ඒ කුමකැයි හඟින්නේද? කරණුත්තරියකරණය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස උපදීද, අහිත පිණිස උපදීද?

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් වෙත්ද?’’ - ’’ස්වාමීනි, අකුසල්ය.’’

’’වරද සහිත හෝ වරද රහිතද?’’ - ’’ස්වාමීනි, වරද සහිතය.’’ ’’ඤාණවන්තයින් විසින් ගර්‍හා කරණ ලද්දේද, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේද?’’ - ’’ස්වාමීනි, ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේය.’’

’’සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, අහිත පිණිස, දුක් පිණිස පවතිත්ද?’’ ’’මෙහි අපට මෙසේ වේ.’’

’’භද්දිය, මෙසේ ඒ යමක් කීවෙමුද ’භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්‍කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.

’’භද්දිය, තොප යම් කලෙක මේ ධර්‍මයෝ කුසල්ය. මේ ධර්‍මයෝ නිවරදය. මේ ධර්‍මයෝ ඤාණවන්තයන් විසින් ප්‍රශස්තයයි. මේ ධර්‍මයෝ සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන්වන ලද්දාහු, හිත පිණිස, සුව පිණිස පවතිත්යයි තමා විසින්ම දන්නහු නම්, භද්දිය, තොප නැවත පැමිණ වාසය කරව්.

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අලොභය,

’’පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’ - ’’ස්වාමීනි, හිත පිණිසය.’’

’’භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ

’’යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අෙවෂය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’ - ’’ස්වාමීනි, හිත පිණිසය. ’’භද්දිය, මේ අලෝභ පුරුෂ පුද්ගල තෙම ලෝභයෙන් මැඩ නොපවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? අමොහය පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස හෝ අහිත පිණිස හෝ උපදීද?’’ - ’’ස්වාමීනි, හිත පිණිසය.’’ ’’භද්දිය, මේ අමෝහය පුරුෂ පුද්ගල තෙම අමෝහයෙන් මැඩ පවත්වන ලද්දේ යටකොට නොගන්නා ලද සිත් ඇත්තේ, ප්‍රාණීයකු නොමරයි. නුදුන්දේ නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් බොහෝ කලක් හිත පිණිස, සැප නිණිස වේද, අනුන්ද ඒ පිණිස සමාදන් කරවයි.’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’එකට එක කිරීම පුරුෂයාගේ අධ්‍යාත්මයෙහි උපදින්නේ හිත පිණිස වේද, අහිත පිණිස වේද?’’ ’’ස්වාමීනි, හිත පිණිසය.’’

’’භද්දිය, මේ එකට එක කිරීමෙන් දුරුවූ පුරුෂ පුද්ගල තෙම එකට එක කිරීමෙන් නොමඩනා ලද්දේ සතුන් නොමරයි. නුදුන් දෙය නොගනියි. පරදාරාවන් කරා නොයයි. බොරු නොකියයි. යමක් ඔහුට බොහෝ කලක් හිත පිණිස, සැප පිණිස පවතීද, අනුන් ඒ පිණිස යොදවයිද?’’ - ’’ස්වාමීනි, එසේය.’’

’’භද්දිය, ඒ කුමකැයි හඟින්නෙහිද? මේ ධර්‍මයෝ කුසල් හෝ අකුසල් වේද?’’ - ’’ස්වාමීනි, කුසල්ය.’’ ’’වරද සහිතද, නිවරදද?’’ - ’’ස්වාමීනි, නිවරදය.’’

’’ඤාණවන්තයින් විසින් ගර්හා කරණ ලද්දේද, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේද?’’ - ’’ස්වාමීනි, ඤාණවන්තයන් විසින් ප්‍රශංසා කරණ ලද්දේය.’’

’’සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතීද, නොවේද, මෙහි කෙසේ හෝ වේද?’’

’’සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතිත්. මෙහි අපට මෙසේ සිතේ.’’

’’භද්දිය, මෙසේ වනාහි භද්දියෙනි, තොප මෙහි එව. ඇසූ පමණකින් පිළිනොගනුව. පරම්පරාවෙන් ආ පමණකින් පිළිනොගනුව. මෙය, මෙය මෙසේයයි නොගනුව. පිටකය හා සමයයිද නොගනුව. තර්‍කයෙන්ද නොගනුව. න්‍යායයෙන්ද නොගනුව. හැඩහුරුකම (සමාන බව පෙනෙන) හොඳ නිසාත් නොගනුව. අපගේ දාෂ්ටියට සමයයි කියාද නොගනුව. හොඳ තැනැත්තාගේයයි කියාද නොගනුව. ශ්‍රමණයන් වහන්සේ අපේ ගුරුවරයායයිද නොගනුව.

’’භද්දිය, යම් කාලයෙක්හි තොප මේ ධර්‍මයෝ කුසල්ය, මේ ධර්මයෝ නිවරදය. මේ ධර්මයෝ ඤාණවන්තයන් විසින් ප්‍රශස්තය. මේ ධර්මයන් සම්පූර්‍ණ කරණ ලද්දාහු, සමාදන් වන ලද්දාහු, හිත පිණිස, සැප පිණිස පවතිත් යයි තමා විසින්ම දන්නහුද, භද්දිය, එකල තොප පැමිණ වාසය කරව්යයි, මේ සඳහා වදාරණ ලද්දේනම්, මෙය ඒ සඳහා වදාරණ ලදී

’’භද්දිය, මේ ලෝකයෙහි යම් ශාන්ත සත්පුරුෂ කෙනෙක් ඇද්ද? ඔවුහු, ’එම්බා පුරුෂය, මෙහි එව, ලෝභය යටපත්කර වාසය කරව. ලෝභය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ලෝභයෙන් උපන් කම් නොකරන්නෙහිය. ද්වේෂය යටපත්කර වාසය කරන්නේය. ද්වේෂය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, ද්වේෂයෙන් උපන් කර්ම නොකරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේය. මෝහය යටපත්කර වාසය කරන්නේ කයින්, වචසින්, මනසින්, මොහයෙන් උපන් කර්ම නොකරන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේය. එකට එක කිරීම යටපත්කර වසන්නේ, කයින්, වචසින්, මනසින්, කරන්තුතරිය කර්ම නොකරන්නේයයි මෙසේ සමාදන් කරවත්.

මෙසේ වදාළ කල්හි භද්දිය ලිච්ඡවි තෙම භාග්‍යවතුන් වහන්සේට භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.’’

’’භද්දිය, තොපට මම, ’භද්දිය, එව. මගේ ශ්‍රාවකයකු වෙව. මම ශාස්තෘ වන්නෙමි’ යි කීයෙම් නොවෙම්ද?’’ ’’නැත, ස්වාමීනි.’’

’’ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, ’ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාවීය, ආවර්තනීය මායාවක් දනියි. අන්‍ය තීර්ත්‍ථකයන්ගේ ශ්‍රාවකයන් තමා අතට පෙරලා ගනීයයි අසත්‍යවූ, හිස්වූ, බොරුවූ, නොවූ දෙයකින් මා මෙසේ කියන්නෙකැයි මෙසේ කීයේ නොවේද?’’

’’ස්වාමීනි, ආවර්‍තනීය මායාව යහපත්ය. ආවර්‍තනීය මායාව යහපත්ය. ස්වාමීනි, යම් මායාවකින් මාගේ නෑයන් සහලේ නෑයන් මේ පෙරලා ගැනීමෙන් හරවා ගන්නාහු නම්, මගේ ප්‍රියවූ නෑයන්ට සහලේ නෑයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. ස්වාමීනි, ඉදින් සියලු ක්‍ෂත්‍රියයෝ

’’මේ ආවර්‍තනීය මායාවෙන් පෙරලා ගන්නාහු නම්, සියලු ක්‍ෂත්‍රියයන්ට,

’’බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.

’’ස්වාමීනි ඉදින් සියලු බ්‍රාහ්මණයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. වෛශ්‍යයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. ක්‍ෂුද්‍රයන් බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. භද්දිය, එය එසේමය. සියලු ක්‍ෂත්‍රියයන්

’’ආවර්‍තනය කරන්නාහු නම්, අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම ක්‍ෂත්‍රියයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.

’’භද්දිය, ඉදින් සියලු බ්‍රාහ්මණයන් ආවර්‍තනය කරන්නාහු නම්, අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම බ්‍රාහ්මණයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.

සියලු වෛශ්‍යයන් ආවර්‍තනය කරන්නාහු නම්, අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම වෛශ්‍යයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.

සියලු ක්‍ෂ්‍රද්‍රයන් ආවර්‍තනය කරන්නාහු නම්, අකුශල ධර්‍මයන් ප්‍රහීන කිරීම පිණිස. කුශල ධර්මයන්ට පැමිණීම පිණිස, සියලුම ක්‍ෂුද්‍රයන්ට බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ.

’’බද්දිය, ඉදින් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ලොකයෙහි, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාවෙහි, දෙවි මිනිසුන් අතරෙහි, බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ. භද්දියය, මේ මහා සල් ගස් දෙක මේ ආවර්‍තනයෙන් අකුශල් ප්‍රහීන කිරීමට, කුසල් වැඩීමට හරවා ගන්නාහු නම්, මේ මහා සල් ගස්වලටද ඉදින් සිතන්නාහු නම්, බොහෝ කාලයක් හිත පිණිස, සැප පිණිස වේ. මනුෂ්‍යවූවන් ගැන කියනුම කවරේද?’’