අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. කම්ම වර්‍ගය

7. සාවජ්ජ කම්ම සූත්‍රය

’’මහණෙනි, මේ කර්‍ම සතරක් මා විසින් තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට දන්වනු ලැබේ.

’’කවර සතරක්ද යත්, අකුශල්වූ අකුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. කුශල්වූ කුශල විපාක ඇති කර්මයක් ඇත්තේය. මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාක ඇත්තාවූද, කුශල විපාක ඇත්තාවූද, කර්මයන් ඇත්තේය. මහණෙනි, අකුශල් නුවූ, කුශල් නොවූ, අකුශල විපාක නොවූ, කුශල විපාක නොවූ කර්මයක් කර්මක්‍ෂය පිණිස පවතී.

’’මහණෙනි, අකුශල්වූ, අකුසල විපාකය ඇති කර්මය කවරේද?

’’මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ සහිත කාය චේතනා රැස් කර, ද්වේෂ සහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ සහිත මනො චේතනා රැස් කර, දුක් සහිත ලෝකයක උපදී.

’’දුක් සහිත ලෝකයක උපන්නේම, දුක් සහිත ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම දුක් සහිත ස්පර්‍ශ වලින් ස්පර්‍ශ කරණ ලද්දේ, නරකයෙහි සත්ත්‍වයන් යම් සේද, එසේ ආබාධ සහිත විපාක වේදනාවක් විඳියි. මහණෙනි, මේ කර්මය අකුශල්ය, අකුශල විපාකය.

’’මහණෙනි, කුශල්වූ, කුශල් විපාකවූ කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ රහිත කාය චේතනා රැස් කරයි. ද්වේෂ රහිත වාක් චේතනා රැස් කරයි. ද්වේෂ රහිත මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වේෂ රහිත කාය චේතනා රැස් කර, ද්වේෂ රහිත වාක් චේතනා රැස් කර, ද්වේෂ රහිත මනො චේතනා රැස් කර, සුභකිණ්ණක දෙවියන් යම් සේද, එබඳු දුක් නැති ලෝකයක උපදී.

’’දුක් නැති ලෝකයක උපන් ඔහු කරා, දුක් නැති ස්පර්‍ශයෝ ස්පර්‍ශ කරත්. හෙතෙම නිදුක් ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ කරණ ලද්දේම, නිදුක් වේදනාවක් විඳියි. මහණෙනි, මේ කුශල්වූ, කුශල විපාකවූ කර්‍මයයි කියනු ලැබේ.

’’මහණෙනි, අකුශල්වූද, කුශල්වූද, අකුශල විපාකවූද, කුශල විපාකවූද, කර්මය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් නෙනෙක් ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කරයි. ද්වේෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කරයි. හෙතෙම ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, කාය චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, වාක් චේතනා රැස් කර. ද්වෙෂ සහිතවූද, ද්වේශ රහිතවූද, මනො චේතනා රැස් කර. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයෙහි උපදී. දුක් සහිතවූද, දුක් රහිතවූද, ලෝකයක උපන්නේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයෝ ස්පර්‍ශ කෙරත්. හෙතෙම දුක් සහිතවූද, දුක් රහිතවූද, ස්පර්‍ශයන්ගෙන් ස්පර්‍ශ වූයේම, දුක් සහිතවූද, දුක් රහිතවූද, මිශ්‍රවූ සැප දුක් ඇති මනුෂ්‍යයන් මෙන්ද, ඇතැම් කාමාවචර දෙවියන් මෙන්ද, ඇතැම් වෛමානික ප්‍රේතයන් මෙන්ද, වේදනාවක් විඳියි. මහණෙනි, මේ අකුශල් හා කුශල්වූද, අකුශල් හා කුශල් විපාක ඇත්තාවූද, කර්මයයි කියනු ලැබේ.

’’මහණෙනි, අකුශල් නොවූත්, කුශල් නොවූත්, අකුශල විපාකත් නොවූ, කුශල විපාකත් නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්‍මය කවරේද? මහණෙනි, ස්මෘති සම්බොජ්ඣය, ධර්‍ම විචය, විරිය, පීති, පස්සද්‍ධි, සමාධි, උපෙක්‍ෂා, සම්බොජ්ඣය යන මෙයයි. මහණෙනි, මේ කර්‍මය අකුශල්ද නොවූ, කුශල්ද නොවූ, අකුශල විපාකද නොවූ, කුශල විපාකද නොවූ, කර්ම ක්‍ෂය පිණිස පවත්නා කර්මයයි.’’