අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(25) 5. ආපත්ති භය වර්‍ගය

1. කොසම්භක (සංඝ භෙද) සූත්‍රය

’’එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝොෂිතාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

’’එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ, ’’ආනන්‍දය, කුමක්ද, ඒ නඩුව සන්සිඳුනේදැ’’ යි ඇසූ සේක

’’ස්වාමීනි, ඒ නඩුව කවර කාරණයකින් සන්සිඳෙන්නේද? ස්වාමීනි, ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේගේ බාහිය නම් සද්ධි විහාරිකයෙක් සම්පූර්‍ණයෙන් සංඝ භෙදය පිණිස සිටියේ, එහි ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ ’එක වචනයකුදු කථාකළ යුතුකොට නොහඟීය’ යි කීයේය.

’’ආනන්‍දය, අනුරුද්‍ධ ස්ථවිරයන් වහන්සේ කවදා සඟ මැද නඩුව ඉදිරිපත් කරයිද, ආනන්‍දය, යම්කිසි නඩුවක් උපදිත්ද, ඒ සියල්ල තොපද, සැරියුත්, මුගලන් දෙනමද, සන්සිඳවිය යුතු නොවේද? ආනන්‍දය, කාරණා සතරක් බලමින් පාප භික්‍ෂූහු සංඝ භෙදයෙන් යට සතුටු වෙති.

’’කවර සතරක්ද යත්, ආනන්‍දය, මේ ශාසනයෙහි පාප භික්‍ෂූහු දුශ්ශීල වෙත්ද, ලාමක ස්වභාව ඇත්තෝද, අපිරිසිදු වූවෝද, සැකයෙන් සිහි කටයුතු හැසිරීම් ඇත්තෝද, වැඩුණු පව්කම් ඇත්තෝද, ශ්‍රමණ නොවූයේ, ශ්‍රමණ යන සංඥා ඇත්තෝ, බ්‍රහ්මචාරී නොවූයේ, බ්‍රහ්මචාරීය යන ප්‍රතිඥා ඇත්තෝ, ඇතුළත කුණු වූවෝ, සදොරින් කෙලෙස් වැගිරෙන්නෝ, කසට හටගත්තෝ, ඔවුන්ට ඉදින්, භික්‍ෂූහු ශ්‍රමණ නොවූයේ, ශ්‍රමණය යන සංඥා ඇත්තේ, බ්‍රහ්මචාරී නොවූයේ, බ්‍රහ්මචාරීය යන සංඥා ඇත්තේ, ඇතුළත කුණුවූයේ, සදොරින් කෙලෙස් වැගිරෙන්නේ, කසට හටගත්තේයයි මා දනිත් නම්, ඔහුට සමගිවූවෝම මා නසත්යයි වර්‍ගව මා නොනසන්නහුය’ යි මෙබඳු සිතක් වෙයි. මහණෙනි, මේ පළමුවෙනි කාරණය දකිමින් පවිටු භික්‍ෂූහු සංඝ භෙදයට කැමති වෙත්.

’’ආනන්‍දය, නැවතද පවිටු භික්‍ෂූහු මිත්‍යා දෘෂ්ටික වෙත්ද, අන්තග්‍රාහක දෘෂ්ටියෙන් යුක්ත වෙත්ද, ඔහුට ඉදින් වනාහි, ’භික්‍ෂූහු මිත්‍යාදෘෂ්ටිකය, අන්තග්‍රාහික දෘෂ්ටියෙන් යුක්තයයි ’මා භික්‍ෂූහු දනිත් නම් සමගිව මා නසන්නාහ. වර්‍ගව මා නොනසන්නහුය’ යි මෙබඳු අදහසක් වෙයි. ආනන්‍දය, මේ දෙවෙනි කාරණය දකිමින් පවිටු භික්‍ෂූහු සංඝ භෙදයට කැමති වේ.

’’ආනන්‍දය, නැවතද පාප භික්‍ෂූහු වැරදි ජීවිකාවෙන් ජීවිකාව කරයිද, ’ඉදින් මා වැරදි ජීවිකාවෙන් ජීවිකාව කෙරේයයි ඉදින් භික්‍ෂූහු මා දනී නම් සමගිව මා නසන්නහුය, වර්‍ගව මා නොනසන්නහුය යන ආනන්‍දය, මේ තුන්වෙනි කාරණය දකිමින් පාප භික්‍ෂූහු සංඝ භෙදයට කැමති වේ.

’’ආනන්‍දය, නැවතද පාප භික්‍ෂූහු ලාභ කැමැත්තේ වේද, සත්කාර කැමැත්තේ වේද, අවඥා නොකැමැත්තේ ඔහුට ඉදින් භික්‍ෂූහු මා ලාභ කැමැත්තේය, සත්කාර කැමැත්තේය, අවඥා නොකැමැත්තේයයි මා දනිත් නම් සමගිව මම සත්කාර නොකරත්. ගරු නොකරත්, මාන්නය නොකරත්. පූජා නොකරත්, වර්‍ගව මා සත්කාර කරත්. ගරුකාර කරත්. මාන්නය කරත්. පූජා කරත්ය’ යි ආනන්‍දය, මේ සතරවෙනි කාරණය දකිමින්, පවිටු භික්‍ෂූහු සංඝ භෙදයෙන් සතුටු වෙත්.’’